Saturday, December 30, 2017

2017 හොඳම දහය Best Tamil Movies 2017



අවුරුද්දක් අවසානයි. බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ අසාර්ථකම අවුරුද්ද. උතුරු ඉන්දියාවෙ නිෂ්පාදකවරු දැන් පුදුමයෙන් කරුණු හොයනවා, උතුරු ඉන්දියානු චිත්‍රපටි අසාර්ථක වෙද්දී දකුණු ඉන්දියානු චිත්‍රපටි ජයකෙහෙළි නැංවුවෙ ඇයිද කියලා. කරන් ජෝහාර්, එ්ක්තා කපූර් කියන්නේ දකුණු ඉන්දියාව වීරයන්ගේ සිනමාවක් වෙනුවට හොඳ පිටපත් රචකයන්ගේ සිනමාවක් විශ්වාස කිරීම නිසා සාර්ථක වුණා කියලයි. ඒ සියල්ල මැද්දේ අපි සූදානම් වෙන්නෙ දකුණු ඉන්දියාවෙ ඉන්න දැවැන්තයා වෙච්ච කොලිවුඩ් සිනමාව සාර්ථක අසාර්ථකත්වය පිරික්සන්න.

පිටපත් රචකයන්ගේ සිනමාවක රංගන ශිල්පීන්



ජනප්‍රියත්වයෙන් වගේම කලාත්මක බවෙනුත් ඉහළ දෙමළ ෆිල්ම් රැසක් මේ අවුරුද්දෙ තිරගත වුණා. අයි.එම්.ඩී.බී. , බොක්ස් ඔෆිස් වගේ කාරණා සලකලා අපි අපේ ලැයිස්තුවක් හැදුවා. මේ ලැයිස්තුවේ ඉහලින්ම එන්නට කලාත්මක වගේම ජනප්‍රියත්වයත් හේතුවුණා. මොනතරම් කලාත්මක වුණත් කලාත්මකේ දිරවගන්න බැරිව ප්‍රේක්ෂකයන්ට කටේ තියන්න බැරි චිත්‍රපටි මේ ලැයිස්තුවේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන් මේ අවුරුද්දෙ රසවත්ම චිත්‍රපටි නැරඹීමේ බලාපොරොත්තුවෙන් මේ ලැයිස්තුව කියවන්න. 

මෙවර බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ අංක එකට එන්නෙ මෙර්සල්. එ් වගේම සවුත් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ ඉහළටම එන්නෙ මෙර්සල් පරද්දමින් බාහුබලී. තුන්වැනියට ඉන්නෙත් මලයාලම් චිත්‍රපටියක්. චිරන්ජීව් රඟන කිලාඩි 150 චිත්‍රපටිය. ජායි ලවා කුසා සහ ස්පයිඩර් කියන තෙළිඟු චිත්‍රපටි දෙකත් ලැයිස්තුවෙ ඉහළින් ඉන්නවා. බොක්ස් ඔෆිස්වල තෙළිඟු නැඟීම නිරීක්ෂණය කරන්නත් අගය කරන්නත් වටිනවා. කලාත්මක සිනමාවෙ මලයාලම් නැඟී එද්දී ජනප්‍රිය සිනමාවෙ තෙළිඟු නැඟී එන බව පේනවා. ෆිඩා, දුව්වාද ජගානන්ධම්, කටමාරායුඩු වගේ චිත්‍රපටි අතරෙ පළමු දහයෙ තැනින් තැන ඉන්න අනෙක් දෙමළ ෆිල්ම් වෙන්නෙ විවේගම්, බයිරවා සහ සිංගම් ත්‍රී කියන චිත්‍රපටි. 

බොක්ස් ඔෆිස්වල තෙළිඟු චිත්‍රපටිවලට තැනක් ලැබෙද්දී කලාත්මක චිත්‍රපටි අතරෙ මලයාලම් චිත්‍රපටිවලට තැනක් ලැබෙනවා. එහෙත් මෙවර කලාත්මක චිත්‍රපටි අතර අයිඑම්ඩීබි ලැයිස්තුවෙ ඉහළින්ම ඉන්නෙ වික්‍රම් වේදා. 8.9ක් ලබාගෙන. ඊට පස්සෙ තමයි මේ අවුරුද්දෙ‍ හොඳම මලයාලම් චිත්‍රපටි වෙච්ච මෙල්ලෙ, ආඩු 2, පරවා, ටේක් ඕෆ් වගෙ චිත්‍රපටිවල රේටින්ස් තියෙන්නෙ.  ටේක් ඕෆ්, පරවා චිත්‍රපටිවලට වඩා තීරන් අධිගාරම් වගේ චිත්‍රපටිවල රේටින්ස් ඉහළයි.

10. තිරුට්ටු පයලේ



මේ චිත්‍රපටිය මෙතැනට එන්න ප්‍රධානම හේතුවක් වෙන්නෙ බොබී සිම්හා, අමාලා පෝල් සහ ප්‍රසන්නාගෙ රංගනයන් නිසා. මේ තිදෙනා අතර දිවෙන මේ අපූරු කතාවෙ සියුම් තැන් ටික අපට විඳගන්න ලැබෙන්නෙ තුන්දෙනාගෙ හැකියාව නිසාමයි. ජීවිතයෙ අඳුරු සහ ගැඹුරු තැන් ස්පර්ශ කරන චිත්‍රපටිවලට අපි කැමතියි. ඒ වගේම අපව පුදුමයට පත් කරන්නට සමත් සිදුවීම් තියෙන චිත්‍රපටිවලට අපි කැමතියි. තිරුට්ටු පයලේ එහෙම චිත්‍රපටියක්.

සුසී සෙල්වම් අධ්‍යක්ෂවරයා මීට කලින් අතිශය ජනප්‍රිය වුණ වික්‍රම් රඟපාපු කන්දසාමි නිෂ්පාදනය කරපු අපූරු අධ්‍යක්ෂවරයා. සිනමා උගුලව අපව අතරමං කරන්නට ඔහු සමත් වෙනවා. 



09. තරමනී ( Tharamani )




රාම් කියන්නෙ අපූරු අධ්‍යක්ෂවරයෙක්. මේ චිත්‍රපටිය අරන් රාම් ලංකාවටත් ආවා. යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙ මේ චිත්‍රපටිය පෙන්වුවා. ඇන්ඩ්‍රියා ජෙරමියා වගේම වසන්ත් රවී නම් නව රංගන ශිල්පියා අපූරු රංගනයක යෙදෙනවා. චිත්‍රපටිය ගැන බ්ලොග් අඩවියේ කලින් සටහනක් ලීවා. මේ ලින්කුවෙන් ගිහින් විස්තර කියවන්න පුළුවන්. කාන්තාව සහ ආදරයේ නිදහස. අපූරු මාතෘකාවක් ස්පර්ශ කරන චිත්‍රපටියක්.


08. තුප්පාරිවාලන් ( Thupparivaalan)




 
මිස්කීන්

එකම එක වචනයයි. මිස්කීන්. ඔහු තමයි අධ්‍යක්ෂවරයා. ‍ඛේදාන්ත නිර්මාණයෙදී ඔහුට සම අධ්‍යක්ෂවරු සෙවීම අසීරුයි. මිනිස්සුන්ගෙ ජීවිතවල අඳුර, මිනිස්සු මොනතරම් අනුකම්පා විරහිතද. මේ සියල්ල මිස්කීන් කියන නම ඇතුලෙ කැටිවෙලා තියෙනවා. ඔහුගෙ චිත්‍රපටි බැලූ අයට ඔහුගෙ නම කී විගස ඒවා සිහිවෙනව. මනුෂ්‍යත්වය කියා අපි කියන්නෙ සෑහෙන උණුසුම් දේකට. මනුෂ්‍යත්වය කීවාම හරිම ආදරණීයයි. හැබැයි මනුෂ්‍යත්වය එහෙම නෑ. ඒක හරිම රළුයි, නපුරුයි, ආත්මාර්ථකාමීයි. කිසිවෙක් ගැන නොතකන මිනීමරු තත්වයක් මනුෂ්‍යත්වය කියන්නෙ. මිස්කීන් අප දෙසට හරවා පෙන්වන කණ්ණාඩියෙන් බැලුවොත් ඒ බව තහවුරු වෙයි. තුප්පාරිවාලන් ගැනත් කලින් ලී සටහනක් මේ ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.



07. තීරන් ( Theeran Adhigaaram Ondru )

කාර්ති. අපූරු නළුවා. ඔහු මෙවර එන්නේ ත්‍රිලර් වර්ගයට අයත්යැයි කිවහැකි චිත්‍රපටියකින්. සැබෑ සිදුවීමක් ඇසුරෙන් හැදුණ මේ චිත්‍රපටියෙ කතාකරන්නෙ යුක්තිය ඉටුකරවාගැනීම වෙනුවෙන් වාසි නොතකා ලොකු වෙහෙසක් ගත්ත පොලිස් නිලධාරීන් පිරිසක් ගැන. පවුල අත්හැර අසීරු සටනක් කරන මේ පොලිස් නිලධාරීන් කිසිදා ගෞරවයකට ලක්වී නැහැ. චිත්‍රපටිය ගැන ලියූසටහනට මෙතැනින් යන්න පුළුවන්.

06. 8 තොට්ටාක්කල් (8 Thottakkal)

 
එම්.එස්. බාස්කර්

මේ අවුරුද්දෙ තිරගත වුණ විශේෂම චිත්‍රපටියක්. කුතුහලය එක්ක පටන්ගන්න චිත්‍රපටිය ටික මොහොතක් යද්දී සංවේදීම කතාවක් කියන්න ගන්නවා. ශ්‍රී ග‍නේෂ් නම් අධ්‍යක්ෂවරයා තමන්ගෙ හැකියාව අපූරුවට පෙන්වනවා. එම්.එස්. බාස්කර් කියන්නෙ හැමදාම අපේ අවධානය දිනාගන්න සමත්වුණ අපූරු නළුවෙක්.‍ මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත දෙකෙන් එකක් රඟපාන්නෙ ඔහු. එක් විදියකට ඔහු තමයි දුෂ්ඨයා. මහා පරිමාණ අපරාධකරුවෙක්. එහෙත් ඔබට මේ අපරාධකරුවාට ළංවෙන්න සිදුවෙනවා. ඔහු කරපු අපරාධ ගැන ඔබ පුවත්පතකින් කියෙව්වොත් ඔහුව එල්ලා මරන්න වටිනවායැයි ඔබ කියාවි. ඔහු ගැන වෛරයක් ඇතිවේවි. ඒත් මෙතැනදී ඔබට සිදුවෙනවා ඔහුට ළංවෙන්නට. කතාව අවසානය තෙක් ඔබව කම්පනය කරන්නට සමත්.



05. පුරියාදා පුදිර් (puriyatha puthir)

පුරියාදා පුදිර්.  මේ ලැයිස්තුවට විජේ සේදුපති රඟන චිත්‍රපටි හතරක් සුදුසුයි. එහෙත් ඉන් වඩා හොඳයැයි අපි හිතන චිත්‍රපටි දෙක ලැයිස්තුවට එක්වුණා. එක් හේතුවක් මේ වගෙ චිත්‍රපටි අඩු විම. ‍ගයාත්‍රි මේ චිත්‍රපටියෙ අපූරුම රංගනයක් කරනවා. විජේ සේදුපති කොහොමත් විශිෂ්ඨයි. විජේ සේදුපතිගෙ අපි කැමතිම චිත්‍රපටියක් මේක. අවසානය තෙක්ම ඔබට අලුත් යමක් අහුවෙනවා. හොඳ චිත්‍රපටියක තිබිය යුතු ලක්ෂණ ගොඩක් එක්ක ඔබ ඊළඟට සිදුවේයැයි අනුමාන කරන දේවලට වඩා නොසිතූ දේවල්ම සිදුවෙනවා. බොහෝ හොල්මන් චිත්‍රපටිවලට වඩා මේ චිත්‍රපටිය විශේෂයි. කුතුහලය එක්ක අපූරු චිත්‍රපටියක් නරඹන්න පුළුවන්.
 
‍04. මානගරම් (maanagaram)

මේ චිත්‍රපටිය ඉතාම අඩු වියදමකින්, තරු නොවන පුංචි නළුවෝ කණ්ඩායමක් අරන් කරපු අපූරු චිත්‍රපටියක්. දින දෙකතුනක කාලසීමාවක් තමයි චිත්‍රපටියෙන් සම්පූර්ණයෙන්ම පෙන්වන්නෙ. ඉන් වැඩි හරියක් රාත්‍රී කාලයේයි. ලෝකේෂ් නාගරාජ් නම් නව අධ්‍යක්ෂවරයා අපට ආදරය කරන්න පුළුවන් චිත්‍රපටියක් ගේනවා. ශ්‍රී කියන රංගන ශිල්පියා කොහො‍මත් හොඳම නිර්මාණවල පමණයි රඟපාන්නෙ. මිලියන 50කින් තැනූ මේ චිත්‍රපටිය මිලියන සීයකට වඩා ආදායම් ඉපැයුවා. ඒ විතරක් නෙවෙයි, චිත්‍රපටිය නරඹා රැජිණිකාන්ත්, සූර්යා වැනි දැවැන්යන් පවා වර්ණනා කළා. කුතුහලය සමඟ අවසානය තෙක් ඔබට චිත්‍රපටිය සමඟ එක්වෙන්න පුලුවන්.



03. මෙර්සල් ( Mersal )



මෙර්සල් චිත්‍රපටිය මීටත් වඩා පහළට යන්නත් ඉඩ තිබුණා. චිත්‍රපටියෙ ප්‍රධානම දුර්වලතාවය හින්දා. ඒ දුර්වලතාවය තමයි අනවශ්‍ය දර්ශණ රැසක් එක්ක චිත්‍රපටිය බොහොම දිග එකක් වීම. විවේක කාලය උදාවෙන්නෙ මසාලා සිනමාවෙ කිහිපවතාවක්ම පාවිච්චිවෙලා තියෙන උපක්‍රමයක් එක්ක ප්‍රේක්ෂකයන්ව විස්මයට පත් කරමින්. හැබැයි ඒ වෙද්දී සම්පූර්ණ චිත්‍රපටියට ගැලපෙන වෙලාවක් ගතවෙලා. පැය තුනක් තිස්සෙ චිත්‍රපටිය දුවනවා.

කොහොම වුණත් සමස්ථයක් විදියට චිත්‍රපටිය රසවත්. වැඩිම ආදායමක් උපයපු කොලිවුඩ් චිත්‍රපටිය බවට පත්වුණා. ඊළඟට ආන්දෝලනාත්මක දේශපාලන කතාවක් මේ චිත්‍රපටියෙ කතාකරනව. විජේ මේ තරම් දේශපාලනික චිත්‍රපටියක් කිරීම වැදගත්. විශේෂයෙන් ඉන්දියාවේ බරපතලව දිවෙන සෞඛ්‍ය ප්‍රශ්ණය ආවරණය කරන චිත්‍රපටියක් වීමත් වැදගත්. ඒ සියල්ල නිසා චිත්‍රපටිය මේ තරම් ඉහළට එනවා. ලංකාවෙ අපටත් මේ චිත්‍රපටිය දැනෙනු ඇති. අධ්‍යාපනය ගැන ගැඹුරු සංවාද ඇතිවෙච්ච පසුබිමක.

02.වික්රම් වේදා ( vikram vedha )

මේ චිත්‍රපටිය හොඳම චිත්‍රපටියැයි බොහෝ දෙනෙක් කියාවි. ආදායම් අතින් දෙවැනියට ඉහළින්ම තියෙන චිත්‍රපටිය. අයිඑම්ඩීබී දර්ශකය අනුව ගත්තොත් මේ අවුරුද්දෙ වැඩිම ලකුණු ලබපු දකුණු ඉන්දීය චිත්‍රපටිය. සම්භාව්‍යයැයි කියන මලයාලම් සිනමාවේ මේ වසරෙ හොඳම චිත්‍රපටි සියල්ලත් අයිඑම්ඩීබි අනුව ගත්තොත් මේ චිත්‍රපටියට පසුපසින් ඉන්නෙ. මාධවන් යළි ඇක්ෂන් චිත්‍රපටියකින් එක්වීමත්, විජේ සේදුපති කියන අපූරු රංගන ශිල්පියා එක්ක එක්වීමත් ආදරණීයයි. චිත්‍රපටිය ගැන ලියූ සටහනක් මෙතැනින් කියවන්න පුළුවන්.



සියල්ලන් හොඳම චිත්‍රපටියයැයි කීවත් අපි අංක එකට ගෙනාවෙ වෙනත් චිත්‍රපටියක්. ඒ චිත්‍රපටිය විප්ලවයක්. නරඹන්නට වටින චිත්‍රපටියක්.

01. මගලිර් මට්ටුම් ( magalir mattum )




තවදුරටත් සිනමාව පිරිමින්ගෙ සිනමාවක් වියයුතු නැහැ. ලොකු ආදායම් උපයන චිත්‍රපටි කරන්න පිරිමි නළුවන්ම ප්‍රධාන නළුවන් වියයුතු නැහැ. ගැහැණුන්ගෙ චිත්‍රපටි ඉතිහාසය පුරා වරින්වර නිමවුණා. මගලිර් මට්ටුම් කියන්නෙත් ඒ වගේ චිත්‍රපටියක්. බොහෝවිට ගැහැණු ප්‍රධාන චරිතයේ ඉන්න චිත්‍රපටි අසාර්ථක වෙනවා. හැබැයි මේ චිත්‍රපටිය ආදායම් ඉපයුවා. පිරිමි ලෝකයට අතුල් පාරක් ගැහුවා.

ජෝතික‍ාගේ නව සිනමා ආගමනය අපි හැමෝවම පිස්සු වට්ටන්නට සමත්වුණා. ජෝතිකා. කලෙක සිනමාවෙ රැජිණ. රැජිණයැයි කීවත් ඇය වැඩි වශයෙන් කළේ පිරිමි නළුවන්ගේ මසාලා චිත්‍රපටිවල රොමෑන්ටික් කොටස්වලට එකතුවීම පමණයි. සිනමාවෙ නිළියන්ට බොහෝවිට සිද්ධවෙන්නෙ ඔයට කොටසයි. සිනමාවෙන් ඈත්වෙලා හිටපු ඇය නැවත ඇවිත්. පිරිමි නළුවන්ගෙ අක්කාට රඟපාන්න නෙවෙයි. පුංචි චරිත රඟපාන්න නෙවෙයි. ඇය ආවේ චිත්‍රපටිවල ප්‍රධාන චරිත රඟපාන්න. මල්වතු වටේ දුවන්න නෙවෙයි. එහෙම ආපු ඇගේ දෙවැනි චිත්‍රපටියයි මගලිර් මට්ටුම්. සිංහලෙන් කීවොත් ගැහැණුන්ට පමණයි. බ්‍රම්මා කියන විශිෂ්ඨ අධ්‍යක්ෂවරයා කරපු මේ චිත්‍රපටියෙදී ඇය එක්වෙන්නෙ සිනමාවෙ හිටපු, දැන් මව්වරුන්ට රඟපාන තවත් නිළියන් තිදෙනෙක් එක්ක. හාස්‍යය, ත්‍රාසය අඩුවැඩියට එක්වෙමින් පිරිමින්ගෙ ලෝකෙන් මිදෙන්න උත්සාහ කරන කාන්තාවන් තිදෙනෙක් ගැන චිත්‍රපටිය කතාකරනවා. ඒ ගැන මෙතැනින් කියවන්න. 



විවේගම්, කරුප්පන්, බයිරවා, සිංගම් ත්‍රී, කඩම්බන්, කවන්, පවර් පාණ්ඩි, කරුංගු බොම්මයි වගේ චිත්‍රපටි කිහිපයක්ම තියෙනවා මේ ලැයිස්තුවෙ ඉඩක් වෙන්කරගන්න වටින. එකිනෙකට වෙනස්, කිසිදා අමතක කරන්න බැරි චිත්‍රපටි. කොහොමවුණත් පළවැනි දහයට රිංගාගැනීම පහසු නැහැ. මලයාලම් නව සිනමාවෙ දැවැන්තම නළුවෙක් වන නිවින් පෝලි රඟපෑ රිචී චිත්‍රපටිය සිතූ තරම් සාර්ථක නොවීමත් නිරීක්ෂණය කරන්නට වටින සිදුවීමක්.

අලුත් අවුරුද්දටත් සිනමාහල්වල තියෙන වේලයික්කාරන් ලැයිස්තුවට ගත්තෙ නැහැ. ඒක ගත්තානම් ඉහළට එන්න ඉඩ තියෙනව. තෙළිඟු බේස් කරගත්ත අවල්, ස්පයිඩර්, බාහුබලී වගේ ද්වී භාෂා චිත්‍රපටි මේ ලැයිස්තුවට එකතුවුණේ නැහැ. ඒ වගේම මලයාලම් බේස් කරගත්ත සෝලෝ වගේ ද්වීභාෂා චිත්‍රපටි නැහැ.

එළැඹෙන්න නියමිත (ඇතැම්විට ඔබ කියවද්දී එළැඹී හමාර) අලුත් අවුරුද්දට සුභ පැතුම්. සිනමාවට ආදරය කරන ඔබට බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපටි රැසක් එක්කයි අවුරුද්ද එළැඹෙන්නේ. ලබන අවුරුද්දේ බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපටි පිළිබඳ සටහනක් හෙට හෝ අනිද්දා ලියැවේවි. එතෙක් සුභ ගමන්.

3 comments:

  1. මගලිර් මට්ටුම් එන්න ජෝතිකා වගෙම සිනමාවෙන් ඈත් වෙලා ඉන්න අනෙක් නිළියනුත් සැලකිව යුතු දායකත්වයක් දෙනව කියල මට හිතෙන්නෙ. වික්‍රම්වේධා අවුලක් නෑ. මෙර්සල් නං අවුලක් ඒක තනිකරම මසාලාවක් (මට අනුව)
    අනික්ව ගැන කතා කරන්ට යන්නෑ. තීරන් වගේ ෆිල්ම් කාලෙකට එකක් හැදෙන ජාත්යෙ ඒව..

    කිලාඩි 150 කියන්නෙ ඇති දෙයක් නැති පිලුමක් තනිකරම චිරන්ජීව් නිසා ආව ෆිල්ම් එකක්.
    ස්පයිඩර් කියන්නෙ මහේෂ් බාබු ගෙ ෆිල්ම් වලිං අසාර්තකම ෆිල්ම් එකක්. (ඒකත් ඉස්සරහට එන්නෙ මහේෂ් බාබු කියන අයිකන් එක හින්ද)
    දුර්වාද ජගන්නාදම්, කට්රමායුඩු ස්පයිඩර්
    මේ ඔක්කම ස්ටෝරියට වඩා ජනප්‍රියත්වය අතිං ඉස්සරහට ආව ෆිල්ම්.
    මේ පාර මලයාලම් හොද ෆිල්ම් සෙට් වුණේ නැති තරං. නැත්තං හිතට ෆිට් එකක් නෑ.
    කොටිංම ඩැල්කර් නිසා මලයාලම් බලන්න ගත්තෙ. ඌ හන්දම එපා වුණා. ව්ලැහ්

    පුලුවන් නං චාලි බලහං. ඒක පොඩි ගතියක් තියේ

    ReplyDelete
  2. Aram
    theeran
    8 thottakal
    vikram vedha
    aruvi
    managaram
    oru kidayin karunai manu
    tharamani
    kurangu bommai
    bahubali 2

    ReplyDelete