Friday, November 3, 2017

මගලිර් මට්ටුම්





කුට්ට්‍රම් කඩිතල් දෙමළ චිත්‍රපටිය ජනප්‍රිය රංගන ශිල්පීන් නැතිව, විශාල පිරිවැයක් නැතිව නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයකි. එහි රචකයා සහ අධ්‍යක්ෂවරයා බ්‍රම්මා නම් විය. බ්‍රම්මා ගැන කතාබහ ඇරඹුනේ 2015 දී මේ විශිෂ්ඨ චිත්‍රපටිය තිරගත වීමෙන් පසුවය. මේ වසරේ තිරගත වූ මගලිර් මට්ටුම් දෙමළ චිත්‍රපටිය බ්‍රම්මා අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටියයි.


36 වයදිනිල්ලේ දෙමළ චිත්‍රපටිය වසර ගණනාවකට පසු ජෝතිකා යළි සිනමාවට ගෙන ආ චිත්‍රපටිය විය. 2008 දක්වාම දෙමළ සිනමාවේ ජනප්‍රියම නිළිය වී සිටි ජෝතිකා වසර හතක කාලයක නිහැඬියාවකින් පසුව යළි සිනමාවට ආවේ 2015 තිරගත වූ මේ චිත්‍රපටිය සමඟයි. ජනප්‍රිය සිනමාවේ ප්‍රධාන නිලියගේ චරිතයට නොගැලපෙන ලෙස මැදිවියට ළංව සිටි ජෝතිකා මෙවර සිනමාවට ආවේ පිරිමි නළුවන් ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපටියක සහාය නිළියක් ලෙස නොවේ. ඇගේ පළමු චිත්‍රපටියෙහි ප්‍රධාන චරිතය ඇය විය. මගලිර් මට්ටුම් චිත්‍රපටිය ඇය ප්‍රධාන චරිතයෙන් දායකවන, ඇගේ නැවත පැමිණීම සනිටුහන් කරන දෙවැනි චිත්‍රපටියයි.

මගලිර් මට්ටුම් යන වචනයෙහි තේරුම කාන්තාවන්ට පමණයි යන්නයි. චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟන්නේද කාන්තාවන්ය. ප්‍රභාවදී නම් කේන්ද්‍රීය චරිතය ජෝතිකායි. ඇය වාර්තා චිත්‍රපටි නිර්මාණය කරන ස්වාධීන කාන්තාවකි. ඇය තරුණයෙකු සමඟ විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටියි. ඔහු ජීවත්වෙන්නේ ඩුබායි වලය. ඔහුගේ මව වන ගෝමදා ඉන්දියාවේ වෙසෙයි. මවගේ චරිතයෙන් එක්වෙන්නේ වසර ගණනාවකට පෙර සිනමාවේ ප්‍රධාන නිළියගේ චරිතවලින් එක්වූ රංගන ශිල්පිනියක් වන උර්වෂීය. පියා මියගොස්ය. ටික දිනක් ප්‍රභාවදී තම නැන්දණිය වන ගෝමදී සමඟ වෙසෙන්නීය. ඒ අතරේ ඇය දැනගන්නේ ගෝමදී නේවාසිකාගාරයක සිටි තරුණ කාලයේ මිතුරියන් දෙදෙනෙක් සමඟ සිටි බවයි. එකල දඟකාර තරුණියන් වූ තිදෙනාම සිහින බොහොමයක් සමඟ සිටි බව ගෝමදී විස්තර කරයි. එහෙත් එක්වරම තිදෙනාට වෙන්වෙන්නට සිදුවන අතර දැන් කොහේ සිටිනවාදැයි නොදනියි. 

ප්‍රභාවදී විසින් ගෝමදීගේ මිතුරියන් සොයාදෙයි. ඒ අන්තර්ජාලයේ උදව්වෙනි. රාණි සහ සුබ්බු ඒ මිතුරියන් දෙදෙනායි. සිනමාවේ කලෙක ප්‍රධාන චරිත ඉදිරිපත් කළ භානුප්‍රියා සහ සාරණ්‍යා යන රංගන ශිල්පිනියන් දෙදෙනා ඒ චරිත ඉදිරිපත් කරයි. 

රාණිගේ සැමියා දේශපාලඥයෙකි. ඔහු කාන්තාවන්ට කුස්සියේ සීමාව පනින්නට ඉඩ නොදිය යුතුයැයි තදින් විශ්වාස කරන්නෙකි. සුබ්බුගේ සැමියා බේබද්දෙකි. ඔහුගේ වියපත් මව ඇඳට වැටී සිටියි. මවගේ සියළු කටයුතු බලන්නේ සුබ්බු විසිනි. ඒ සියල්ල නිසා රූපලාවණ්‍ය ශිල්පිනියක වීමේ සුබ්බුගේ සිහිනය බොඳවී ඇත.

තිදෙනාගේම ජීවිත කාලසටහන්වල සිරවී ඇත. ඔවුන් තරුණ කල දුටු සිහින සියල්ල පිරිමින්ගේ කුස්සිවලට සිරවී ඇත. තිදෙනාටම බලාපොරොත්තු නොවූ ජීවිත උරුම වී ඇත. ප්‍රභාවදි විසින් ඒ සිරගත ජීවිතවලීන් මිදී දින තුනකට චාරිකාවක් යන්නට යෝජනා කරයි. තිදෙනාම දින තුනකට තම ආශාවන් නිදහස් කරගන්නා අයුරු චිත්‍රපටියේ දිවෙන කතාවයි. නොසිතූ සිදුවීම් ඒ අතරට එකතුවෙයි. මේ තිදෙනාගේම සිරකූඩු තිදෙනා පසුපස හඹා එයි. 

මේ නිළියන් සිව්දෙනා සමඟම එදා සිනමාවේ ආදර රූප මැවූ නළුවන් අදටත් සිනමාවේ වීරයාගේ චරිත ඉදිරිපත් කරයි. ඒ මේ නිළියන්ට පසු පරම්පරාවේ තරුණ නිළියන් සමඟයි. එහෙත් මේ නිළියන් මව්වරුන්ගේ චරිතවලට සීමා වී ඇත. මගලිර් මට්ටුම් චිත්‍රපටිය මව්වරුන්ගේ චරිතවල සිරව සිටි නිළියන්ව වීරවරියන්ගේ චරිත ලෙස අපට මුණගස්වයි.

චිත්‍රපටියේ සංගීතය පසුගිය වසර කිහිපයේම කමල් හසන්ගේ චිත්‍රපටි වෙනුවෙන් සංගීතය නිර්මාණය කළ, කැපී පෙනෙන සංගීත නිර්මාණ ශිල්පියෙක් වන ජිබ්රාන්ය. පසුගිය සැප්තැම්බරයේ සිනමාහල්වල තිරගත වූ මේ චිත්‍රපටිය විශාල විචාරක අවධානයක් මෙන්ම රසික ප්‍රතිචාරද ලැබීය. 

විශේෂයෙන්ම රංගන ශිල්පිනියන් සිව්දෙනාගේ සුවිශේෂී රංගනය සියල්ලන්ගේ ගෞරවයට හේතුවිය. ගැහැණු සිහින පිරිමි කුස්සිවල සිර නොකළ යුතු බව මගලිර් මට්ටුම් චිත්‍රපටියෙන් කියයි. ගැහැණු සිහිනවල ස්වාධීනත්වය ගැන කතාකරයි. ඒ නිසා මගලිර් මට්ටුම් හෙවත් ගැහැණුන්ට පමණයැයි කීවත් මේ චිත්‍රපටිය පිරිමි විසිනුත් නැරඹීය යුතුම චිත්‍රපටියකි.

No comments:

Post a Comment