Sunday, November 26, 2017

විජේ සේදුපතිගෙ හොඳම ෆිල්ම් පහ Sethupathi's Top 05

ගණකාධිකාරී ජොබ් එකෙන් අයින්වෙලා එකපාරම සිනමාවට එන අවුරුදු විසිඅටක විතර තරුණයෙක්. දැන් සිනමාවෙ පොදු මිනිස්සුන්ගෙ වීරයා බවට පත්වෙලා. ඒ වනතුරු ගමන ඉතා අසීරු එකක්. 2006 ආපු පුදුපෙට්ටායි චිත්‍රපටියෙ ධනුෂ්ගෙ යාළුවෙක්ට රඟපාන අසරණ සේදුපතිගෙ මුහුණ පෙන්වන්නෙත් කැමරාවට වැරදීමක් වුණොත් වගෙයි. හොඳ ඇහැක් තියෙන අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් නිසා සිනමාව වෙනස් කරවන විදියෙ යමක් කරන්න සේදුපතිට දැන් හැකියාව ලැබිලා.




සේදුපතිගෙ හොඳම ෆිල්ම් දහය අපි ලැයිස්තුගත කරමින් හිටියෙ. ඊයෙ සටහන අපි හයවැන්නෙන් නැවැත්වුවා. මේ කොටසෙ අපි පස්වැන්නෙ ඉඳන් පළවැනි චිත්‍රපටිය දක්වා ඉදිරිපත් කරනවා. මේ අපේ ලැයිස්තුව. අපේ කැමැත්ත දිනාගත්ත පිළිවෙල. ඉතාම අසීරුවෙනුයි අපි මේවා මේ විදියට පෙළගස්වගත්තෙ. ඔබේ අදහස් මේකට වඩා සම්පූර්ණයෙන් වෙනස්වෙන්න පුළුවන්.



ලැයිස්තුවේ තියෙන අලුත්ම චිත්‍රපටිය මේක. 2017 දී ආපු මේ චිත්‍රපටිය රංජිත් ජෙයකොඩි කියන අධ්‍යක්ෂවරයා විසිනුයි අධ්‍යක්ෂණය කළේ. සස්පෙන්ස් ත්‍රිලර් වර්ගයේ චිත්‍රපටියක්. ඒ කියන්නෙ කුතුහලය පිරුණු චිත්‍රපටියක්. අවසාන මොහොත වනතුරු ඔබේ කුතුහලය සන්සිඳෙන්නෙ නෑ. සංගීතය කරන තරුණයෙක්. මේ තරුණයා එක්ක පෙමින් බැඳෙන තරුණියක්. දෙදෙනා ආදරය කරන්නට පටන්ගනිද්දී ආදරය මැදට එන නොදන්නා ආගන්තුකයෙක්. ඇයව හොරෙන් වීඩියෝවලට හසු කරගෙන බ්ලැක්මේල් කරන්නට ලෑස්තිවෙන නාඳුනන්නෙක්. නාඳුනන්නා අමනුෂ්‍ය ආත්මයක්ද? මානසික රෝගියෙක්ද? හතුරෙක්ද? ඔවුන්ගේම මිතුරෙක්ද? චිත්‍රපටියෙ අවසානය දක්වා දිවෙන්නෙ ඒ කුතුහලය. චිත්‍රපටියෙ අවසානය කලින් බලන්න උත්සාහ කරන්න එපා. කුතුහලයත් එක්ක බලලා රසය විඳින්න.

සමාජ මාධ්‍ය, දුරකථන, කැමරා බහුල වුණ යුගයක මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරන්න ඒ උපකරණ වලට තියෙන හැකියාව ගැන චිත්‍රපටියෙ කතාකරනවා. ඒ වගේම දැන් සයිබර් අපරාධ බහුල යුගයක නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙන ආකාරය චිත්‍රපටියෙ කතාවෙනවා.








මේ චිත්‍රපටිය අංක එකේ තියන්න බොහෝ දෙනෙක් කැමති වේවි. චිත්‍රපටියකින් බලාපොරොත්තු වෙන උපරිම රසය වික්‍රම් වේදා චිත්‍රපටියෙන් ලැබෙනවා. ගයාත්‍රී සහ පුෂ්කීන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ගලායන්නෙ කුතුහලයත්, කතා රසයත් එකට මුහු කරගනිමින්. චිත්‍රපටියෙ රංගනයෙන් එක්වෙන්නෙ අතිවිශිෂ්ඨ රංගන ශිල්පියො දෙන්නෙක්. ඉඳහිට සිනමාවෙ මුහුණ පෙන්නන ආර්. මාධවන් සහ ටිකක් වැඩියෙන් චිත්‍රපටිවල රඟපාන සේදුපති.  

හොඳ කවුද? නරක කවුද? හොඳ කෙනෙක් නරක වෙන්න බැරිද. හොඳ සහ නරක අතර අපූරු කතාවක් චිත්‍රපටියෙ තියෙනවා. හොඳ මිනිහා කරන නරක දේවල් ගැන කියනවා. ඔබ හිතට අවංකව කරන දෙයක් වුණත් නරක දෙයක් වෙන්න පුළුවන් බව සිහිපත් කරනවා. එක තනි ඉරකින් හොඳත් නරකත් වෙන්කරන්න බැරි බව සිහිපත් කරනවා.






නාලන් කුමාරස්වාමි කියන්නෙ මාර ඩිරෙක්ටර් කෙනෙක්. දැන් බොහෝදෙනෙක් කූඹියො බලන අතරෙ සූඩු කව්වම් චිත්‍රපටිය ඇතුලෙ කූඹියො සෙට් එකක් ඉන්නවා. හැබැයි මහා ජීනියස් කූඹියෝ නෙවෙයි. විජේ සේදුපති, බොබී, රමේෂ් තිලක්,   කරුණාකරන් රඟපාන චිත්‍රපටිය කිසි තේරුමක් නැති මෝඩ සිදුවීම් පෙලක් අප ඉදිරියේ තියලා මාර කතාවක් කියනවා.

කතා රසය උපරිමයෙන් චිත්‍රපටියෙදී හමුනෙවා. ඊටත් වඩා සේදුපති එක්ක හරි හරියට රඟපාන බොබී, අශෝක් සහ කරුණාකරන්ගෙ රංගනය විසින් මේ චිත්‍රපටිය මාරම ෆිල්ම් එකක් බවට පත්කරනවා. මේක අංක තුනට ආවෙ ඒ ෆිල්ම් ස්ටයිල් එකට අපි පුදුම විදියට ආස හින්දා.






මේ චිත්‍රපටියත් සරල කන්සෙප්ට් එකක් වටා දුවන එකක්. කලින් කීවා වගේම තේරුමක් නැති කතාවක් කියන්නෙ. මේක උඩටම එන්න හේතුව සේදුපතිගෙ ඇක්ටින්. ඔහුගෙ ඇක්ටින්වල උපරිමය තමයි අපි ඊළඟට තෝරපු ෆිල්ම් එකේ තියෙන්නෙ. ඒ හැරුණම ලැයිස්තුවට එකතු නොවුණ ඔරේන්ජ් මිට්ටයි ෆිල්ම් එකත් හොඳයි. බාලකුමාරා චිත්‍රපටියත් සේදුපතිගෙ ඇක්ටින්වල සුන්දරම තැනක් අපට මුණගස්වනවා. චිත්‍රපටියෙ කතාව මේ සටහන ඇතුලෙ කියල ඉවරකරන්න බෑ. චිත්‍රපටිය දුවන්නෙ හාස්‍ය රසය උඩ. නළුවො කණ්ඩායමක්ම ඉන්නවා.

ඒත් ප්‍රධාන නළුවො දෙන්නෙක් වටේ තමයි චිත්‍රපටිය දුවන්නෙ. කොල්ලො දෙන්නෙක්. බේබද්දො දෙන්නෙක්. ටිකක් උගත් බේබද්දෙක් සහ ඉගෙනගත්තෙ නැති රස්තියාදුකාර බේබද්දෙක්. තව උප ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා.'



පළවැන්න කියන්න කලින් ලැයිස්තුවට එක් නොවුණ හොඳම චිත්‍රපටි කිහිපයක නම් කියන්න ඕනෙ. නානුම් රවුඩි තාන් කියන්නෙ නියම චිත්‍රපටියක්. දෙවැනි, තුන්වැනි ෆිල්ම් දෙකේ කැටගරියට ටිකක් සමාන හින්දයි ඒක එකතුවුණෙ නැත්තෙ. ඉරයිවි, තෙන්මරුක්කු ගැන අපි කලින් ලිපියෙ කෙටියෙන් කීවා. කවන් කියන්නෙ අමතක කරන්න බැරි ලස්සන චිත්‍රපටියක්. රමී චිත්‍රපටියත් ඉතාම රසවත්. වන්මම් කියන්නෙ සේදුපතිගෙ හොඳම චිත්‍රපටියක්. සේදුපති ඉන්න ෆිල්ම් හැම එකක්ම වගේ රසවත්.




මේක අපේ ලැයිස්තුවෙ අංක එකට එන්න හේතු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම චිත්‍රපටියෙ කතාකරන මාතෘකාව. මට මතකයි මේ මාතෘකාවම කතාකරන චිත්‍රපටි කිහිපයක්ම. මොකක්ද? මරණීය දණ්ඩනය ගැන. මරණීය දණ්ඩනය නියම කරන්නෙ උසාවියක ඉන්න විනිසුරුවරයෙක්. මරණීය දණ්ඩනය ලබන කෙනාව බන්ධනාගාරයෙ රැකබලාගන්නෙ බන්ධනාගාර නිලධාරීන්. ඒත් අන්තිමේදී මරණීය දණ්ඩනය දෙන්නෙ කවුද. අළුගෝසුවා කියන පුද්ගලයා.

ලංකාවේ අළුගෝසුවෙක් හොයාගන්න කොච්චර වෙහෙසක් ගත්තාද කියලා මෑත කාලයෙ අත්දැකීම්වලින් මතක ඇති. අළුගෝසුවා තමයි පණපිටින් ඉන්න මනුස්සයෙක්ගෙ ජීවිතය අවසාන කරන්නෙ. අළුගෝසුවාට ඕනනම් පුළුවන් මේ දඬුවම නියම කළේ වෙන කෙනෙක්, මම කරන්නෙ වැඩේ කරන එක විතරයි කියලා සැහැල්ලු වෙන්න. ඒත් එහෙම පුළුවන්ද. විශේෂයෙන් මරණීය දඬුවම ලබන කෙනා නරක කෙනෙක් නොවෙයි කියලා දැනගන්න ලැබුණොත්.

විජේ සේදුපතිට කරන්න ලැබෙන්නෙ මෙන්න මේ චරිතය. බේබදු අලුගොසුවෙක්. හිත හොඳ මිනිහෙක්. පරම්පරාවෙන් අළුගෝසු තනතුර කර මත වැටුණ මිනිහෙක්. අළුගෝසුවාට කන්න බොන්න එහෙමත් ආණ්ඩුවෙන් පහසුකම් සැලසෙනවා. විශේෂයෙන් බොන්න. විජේ සේදුපති කරන චරිතයට කාලයක් යනකන් මරණ දඬුවමක් දෙන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. ‍මරණ දඬුවමට කවුරුත් නියම වෙන්නෙ නැහැ. ඒත් එක්වරම ඔහුට ලොකු අපරාධකරුවෙක්ව එල්ලලා මරන්න පැවරෙනවා. ඔහු කරන්නෙ මරණ දඬුවම දීම වෙනුවට තමන් එල්ලිලා මැරෙන්න උත්සාහ කරන එක. එතැනින් පස්සෙ සිදුවෙන්නෙ මොකක්ද.

අළුගෝසුවෙක්, නීතිය රකින පොලිස් නිලධාරියෙක් සහ මරණ දඬුවමට නියම වුණ විප්ලවවාදී කැරලිකරුවෙක් කියන චරිත තුන අතරයි කතාව දිවෙන්නෙ. මේක ලැයිස්තුවේ අංක එක. සේදුපතිගෙ චිත්‍රපටි අතරින් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටිය. සේදුපතිගෙ රංගනය උපරිමයට යන තැන.




මේ තමයි අපේ ලැයිස්තුව. ඔබට වෙනස් අදහසක් තියෙනවානම් අපි එක්ක බෙදාගන්න!

No comments:

Post a Comment