Friday, December 8, 2017

කාර්තිගේ අලුත්ම එක Theeran Adhigaaram Ondru



මේ අවුරුද්දෙ නොවැම්බරයේ තිරගත වුණ මේ චිත්‍රපටිය ඉන්දියාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්. බවාරියා මෙහෙයුම නමින් හඳුන්වන 2005 කාලයේ සිදුවුණ මෙහෙයුමක් ගැනයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. Sathuranga Vettai චිත්‍රපටිය කරලා විකටන් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටියට සම්මානය දිනපු එච්. විනෝද් කියන නැඟී එන අධ්‍යක්ෂවරයා නිර්මාණය කරපු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ කාර්ති සිවකුමාර්. 

රාකුල් ප්‍රීත් සිං ප්‍රධාන නිළිය. දුෂ්ඨයා ලෙස අභිමන්යු සිං රඟපානවා. දෙන්නාටම තෙළිඟු සිනමාවෙ තැනක් තියෙනවා. මොකද චිත්‍රපටිය තෙළිඟු ප්‍රේක්ෂකයාවත් ඉලක්ක කරනවා.




චිත්‍රපටියේ පොලිස් කණ්ඩායමක් සහ අපරාධකරුවන් කණ්ඩායමක් ගැනයි කතාව දිවෙන්නෙ. අතීත ඉන්දියාවේ සටනට දක්ෂයන්ව සිටි ගෝත්‍ර කිහිපයක් සමාජයෙන් පිටමං කොට‍ කැලෑගතව සිටිමින් දඩයමට හුරු  වෙනවා. ඒත් එක කලෙක ඉන්දියාවේ දඩයම තහනම් වෙනවා. ඉන්පසුව කරන්නට දෙයක් නැති මේ ගෝත්‍ර මිනිසුන් දඩයම් කරන්නට පටන්ගන්නවා. මුදල් අතේ ගැවසෙන නිවෙස්වලට පැන කෲර ලෙස ඝාතන කරනවා. තමිල්නාඩුවේ මෙවන් ඝාතන කිහිපයක් එකදිගට වෙද්දී තීරන් නම් පොලිස් නිලධාරියා ඇතුළු කණ්ඩායමක් ඒ ගැන පරීක්ෂණ පටන්ගන්නවා. නිවසක හමුවෙන ඇඟිලි සලකුණු හඳුනාගන්නා ඔවුන් තමිල්නාඩුවේ ඇඟිලි සලකුණු ඇති පොලිස් ස්ථාන සියල්ලට ගොස් පරීක්ෂා කරනවා. තමිල්නාඩුවේ ඇඟිලි සලකුණුවලට ගැලපීමක් නැති තැන ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත සියල්ලට යන්නට තීරණය කරනවා. මාස ගණන් නිවසට නොපැමිණ වෙහෙසවෙමින්, නොකා නොබී ඉන්දියාව පුරාම ඇඟිලි සලකුණු සොයමින් කණ්ඩායමක් ගමන් කරනවා. අවසානයේ ඇඟිලි සලකුණු ගැලපෙන එක් අයෙක් පමණක් සොයාගන්නවා. ඔහුගෙන් ප්‍රශ්ණ කරලා අනෙක් අයව සොයාගන්න ඕනෙ. අතිවිශාල ඉන්දියාවෙ ඔවුන් කොතැන ඉන්නවාද කියල කිසිකෙනෙක් දන්නෙ නෑ. ඔවුන්ව සෙවීමේ අසීරු කටයුත්තට ඉන්දියානු  රජයේ සහාය අවශ්‍ය වුණත් දෙන්නෙ නෑ.
ටික දිනකට පස්සෙ තමිල්නාඩු ප්‍රාන්තයේ මන්ත්‍රී කෙනෙක්වත් මරණවා. එතකොටයි ආණ්ඩුවට ඇහැ ඇරෙන්නෙ. මෙහෙයුමට අවශ්‍ය කණ්ඩායම් සහ වෙලාව ඉන්පස්සෙ ලැබෙනවා. මාස ගණන් උතුරු ඉන්දියාවේ දුක් විඳිමින් කණ්ඩායම හොයනවා. ඒ අස්සෙ තීරන් කියන පොලිස් නිලධාරියාගෙ බිරිඳත්, සත්‍යා කියන ඔහුගෙ දෙවැනියාගෙ පවුලටමත් දරුණු අනතුරු සිදුවෙනවා. ඒත් ගෙවල්වලට නොගිහින් රටේ අනෙක් පවුල් වෙනුවෙන් අපරාධකරුවන් පසුපස ඔවුන් යනවා.

ඒ මෙහෙයුමෙන් වසර ගණනාවකට පසු දර්ශණ කිහිපයකින් චිත්‍රපටිය අවසන් වෙනවා. මෙහෙයුමේ යෙදුණු නිලධාරීන් කිසිවෙකුට උසස්වීම් හෝ ගෞරවය ලැබී නැහැ. බහුතරයක් ජනතාව ඒ මෙහෙයුම ගැන දන්නේ නැහැ. ඒ මෙහෙයුමේ තොරතුරු තියෙන ෆයිල් කවරය පොලීසියක පරණ ෆයිල් අතර සැඟවි තියෙනවා. සැබෑව එයයි. සැබෑ වීරයන්ට සැබෑ ගෞරවය ලැබෙන්නෙ නැහැ. චිත්‍රපටිය අවසන් වෙන්නෙ එතැනින්.
මියුසික් නියම තැනට දෙනවා. දීර්ඝ ගීත හෝ ප්‍රේම දර්ශණ නැහැ. කෙටියෙන් තමයි ප්‍රේම ජවනිකා පහු කරන්නෙ. හැබැයි ඒ තැන් ටික උපරිමයෙන් දෙන්න චිත්‍රපටිය සමත් වෙනවා.  චිත්‍රපටිය සංගීතය කරන්නෙ මෑත කාලයෙ අවධානය දිනාගත්ත, කමල් හසන්ගේ මේ දිනවල ‍තේරීම වෙලා තියෙන සංගීත අධ්‍යක්ෂවරයා ජිබ්රාන්. (කමල් හසන් තෝරගන්නවා කියන්නෙම පුද්ගලයා විශිෂ්ඨයි කියනව එක. එතැනින් එහාට ජිබ්රාන්ගෙ විශිෂ්ඨත්වය අපේ ඇහෙන් විස්තර කරන්න ඕනෙ නැහැනෙ.)

චිත්‍රපටිය බලන්න වටිනවා. අපව දෙවැනි කොටසක් එනතුරු බලාසිටින තැනට චිත්‍රපටිය පත්කරනවා. ඒ වගේම චිත්‍රපටියෙ රූපරාමු ප්‍රබලයි. චිත්‍රපටියෙ ටේලර් එක බැලුවොත් ඔබට එය දැනෙයි. මේ වෙද්දී චිත්‍රපටියෙ බ්ලූරේ පිටපත් අන්තර්ජාලයට එක්වෙලා තියෙනවා. 



(ඔන්න අපිනම් කියන්නෙ නෑ හොර ඒවා ඩවුන්ලෝඩ් කරන්න කියලා. ටිප් එකක් දුන්නා විතරයි.)



4 comments:

  1. ඔයාල හ්හුන්ගක්ම මේ දකුණු ඉන්දියානු චිත්‍රපට බලනවනේ. මම සාමන්‍යයෙන් බලන්න කැමති නැහැ බොළඳ වැඩි නිසා. මේ කියන විධිහට නම් හොඳයි වගේ. //යි. සැබෑ වීරයන්ට සැබෑ ගෞරවය ලැබෙන්නෙ නැහැ.// එක නම් ඇත්ත

    ReplyDelete
    Replies
    1. බොළඳ වැඩියි කියන එක කවුරුහරි ඔයාලාගේ ඔළුවට දාපු බොරුවක්. මේ බ්ලොග් එකේ ලියැවිලා තියෙන ෆිල්ම් කිහිපයයක් බලන්න. ඔය විශ්වාසය වෙනස් වෙයි.

      Delete
    2. ට්‍රයි එකක් දාන්නම් . මේ දවස් වල කුම්බියෝ සහ සහෝදරයා බලන්නේ :)

      Delete