Monday, December 11, 2017

හොඳම දෙන්නාව මුණගස්සපු කාදලා කාදලා



හවුස්ෆුල් චිත්‍රපටි තුන බලලා ඉල ඇදෙනකල් හිනාවුණු අය ඇති. සජිඩ් ඛාන් හදපු පළවැනි ෆිල්ම් දෙක තරම් සජිඩ්-ෆර්හාඩ් යුවල හදපු තුන්වැනි ෆිල්ම් එක හොඳනැහැ කියලා කියන අය ඇති. 

හවුස්ෆුල් හින්දි චිත්‍රපටි මාලාව හදලා සජිඩ් නදියඩ්වාලා කියන නිෂ්පාදකවරයා හොඳට සල්ලි හම්බකළා. ඒ චිත්‍රපටි මාලාව නිර්මාණය කලේ කාදලා කාදලා චිත්‍රපටියෙ සංකල්පය අරගෙන. 1998 දී කාදලා කාදලා නිර්මාණය වෙලා තිබුණෙ 2010 නිෂ්පාදනය වුණ පළවැනි හවුස්ෆුල් චිත්‍රපටියට පාදක වුණ මූලික සංකල්පය වෙච්ච මනමාලයන් සහ මනමාලියන් එකිනෙකා පටලැවීම තමයි කාදලා කාදලා චිත්‍රපටියෙත් මූලික සංකල්පය. ඉන්දියාවේ අපූරු කතාවක් එක්ක නිර්මාණය වුණ කාදලා කාදලා චිත්‍රපටිය වෙනුවට හවුස්ෆුල් චිත්‍රපටිය ලන්ඩන් නගරයට ගෙනිච්චා. කාදලා කාදලා චිත්‍රපටියෙ අවසාන දෙබසක කියැවෙන හවුස්ෆුල් කියන වචනය චිත්‍රපටි මාලාවෙ නම විදියට පාවිච්චි වුණා. කොහොමවුණත් අපි කතාකරන්න ලෑස්තිවෙන්නෙ කාදලා කාදලා කියන ක්ලැසික් එක ගැන. සජිඩ් නදියඩ්වාලාට සල්ලි කඳු ගොඩගහපු කන්සෙප්ට් එක ගෙනාපු චිත්‍රපටිය ගැන.





කමල් හසන් සහ ප්‍රභූදේවා කියන අපූරු නළුවො දෙන්නා එකට හමුවෙන චිත්‍රපටිය මේක. ප්‍රභූදේවා අපූරු නළුවෙක්. අපේ මැනීම් අනුව ඔහු ඉන්දියාවෙ සිනමා වීරයන් අතරින් ශ්‍රේෂ්ඨම නර්තන ශිල්පියා. කමල් හසන් කියන්නෙ අපූරු නර්තන ශිල්පියෙක්. අපේ මැනීම් අනුව ඔහු ඉන්දියාවෙ සිනමා වීරයන් අතරෙ ශ්‍රේෂ්ඨම රංගන ශිල්පියා. කමල් එක්ක රංගනයෙන් ප්‍රභූදේවා කරට කර ඉන්නවා වගේම ප්‍රභූදේවා එක්ක නර්තනයෙන් කමල් කරට කර ඉන්නවා. මේ යුවල එකට රඟපානවා දැකීමම අපූරුයි. මේ ගීතයෙන්ම ඒක බලන්න.


මෙතැන ප්‍රභූදේවාට ගැලපෙනම කටහඬ වෙච්ච උදිත් නාරායන් එක්ක හරි හරියට ගයන්නෙ කමල් හසන්ට ගැලපෙනම කටහඬ වෙච්ච කමල් හසන්. කමල්ගෙ ගායන හැකියාවම අගය කරන්න වටිනවා. 

කතාව රාමලිංගම් (කමල්) සහ සුන්දරලිංගම් (ප්‍රභූදේවා) කියලා යාළුවො දෙන්නෙක් ගැනයි. එක්කෙනෙක් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. අනෙකා කපටියෙක්. චිත්‍ර ශිල්පියා අවංකව චිත්‍ර අඳිනව. කපටියා බෙ‍ාහෝවිට චිත්‍ර කපටිකමින් විකුණනව. තව වෙන වෙන මගෝඩි වැඩ කරල සල්ලි හොයනවා. මේ දෙන්නම අනාථයො. දුප්පත්. දෙන්නා තව අනාත දරුවො තොගයක්ම හදාවඩාගන්නවා. වියදම් කරනවා. 
මේ යාළුවො දෙන්නා එක්ක යාළුවෙනවා යෙහෙළියො දෙන්නෙක්. ජානකි (රම්බා) සුන්දරලිංගම් එක්ක සහ සුන්දරී (සෞන්දර්යා) රාමලිංගම් එක්ක. මේ හතරදෙනා පඹගාලක පැටලෙන්නෙ ජානකීගෙ දෙමාපියන් සහ සුන්දරීගෙ තාත්තා බෑණාවරුන් බලන්න එනවා කියලා දැනගත්තම. මාමලාට කියලා තියෙන්නෙ මේ බෑණාවරුන් සල්ලිකාරයො කියල. හැබැයි මුං දුප්පත්. අනෙක ජානකී ගෙදරට කියනවා බැඳල දරුවෙකුත් ඉන්නව කියල. ඉතින් මාපියන්ව රවට්ටන්න ලොකු බංගලාවක් කුලියට අරගෙන නටන නාඩගමක් ගැන තමයි කතාවෙ යන්නෙ. මේ පටලැවිලි ටික අපව හිනස්සන්න සමත්.

දක්ෂ රංගන ශිල්පීන්ගෙ ඇතුලෙ තියෙන ලස්සනම කෑල්ල තමයි කොමඩි නළුවා. කොමඩිය තමයි නළුවෙක්ගෙ හැකියාව පරීක්ෂා කරන්න තියෙන හොඳම තැන. මිනිස්සු අඬවන එක පහසුවුණාට හිනස්සන එක ලේසි නෑ. කමල් වගේම ප්‍රභූදේවා අතිදක්ෂයො බව දැනෙන්නෙ එතැනදී. ලංකාවෙ ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර වගේ අතිදක්ෂයො වුණත් කොමඩිවලදී ස්කෝ කරන විදිය දැකලා තියෙනවනෙ.
අපි දෙන්නා‍ හොඳට නෝට් කරගත්ත තැනක් තමයි කෙල්ලෝ වෙච්ච රම්බා සහ සෞන්දර්යා පරද්දමින් කොල්ලෝ‍ දෙන්නා භරත/ කතක්/ කතකලි (හෝ වෙන මොකක්හරි) ඉන්දියාවේ සාම්ප්‍රදායික නැටුම් නටන අපූරුව.
සටහනෙන් ලියන්න ඕන වුණෙ ප්‍රභූදේවා සහ කමල් එක්වුණ ඉතිහාසයෙ සුන්දර අවස්ථාව වුණත් මේ චිත්‍රපටිය ලස්සන කලේ ඒ දෙන්නා විතරක් නෙවෙයි.
රම්බා සහ සෞන්දර්යා තමන්ගෙ කටයුත්ත අපූරුවට කරනවා. කොමඩි රජා වඩිවේල් සහ රැජිණ කෝවයි සරලා‍ දෙන්නාම චිත්‍රපටියෙ ඉන්නව. ඒ විතරක්ද වඩිවෙල්ට කලින් විකට රජා නාගේෂ් ගරු චරිතයක් කරනව. එම්.එස්. විශ්වනාදන් මහත්තයා ‍ගෞරවණීය චරිතයක් කරනවා. 

මියුසික් උපරිමයි. කාර්තික් රාජා හෙවත් ඉලයරාජාගෙ ලොකුපුතා තමයි මියුසික් කරන්නෙ. අධ්‍යක්ෂවරයා වෙන කවුරුවත් නෙවෙයි අපූර්ව සගෝදාරාර්ගල්, මගලිර් මට්ටුම්, මුම්බායි එක්ස්ප්‍රස් වගේ විශිෂ්ඨ චිත්‍රපටි කරපු ශ්‍රීනිවාස ‍රාඕ. අනෙක් විශේෂම චරිතය තමයි ක්‍රේසි මෝහන්. ක්‍රේසි මෝහන් සහ කමල් හසන් එකතුවෙලා දෙමළ හාස්‍යමය සිනමාවෙ මල්වෙඩි දැම්මා. මේ ඩබල ගැන කතාව ටිකක් පස්සට තියෙනව. ඩොක්ඩර් නවරියන් ආපු එකේ ඒකට මුල්වෙච්ච වසූල් රාජා ගැනත් ලියන්න එපැයි. 

කාදලා කාදලා බලලා නැත්නම් හොයාගෙන බලන්න. හොයන්න අමාරු නැහැ. යූටියුබ් එකෙත් තියෙනවා. 



ප.ලි. - චිත්‍රපටියෙ හිටපු, මියගිය ගෞරවණීය චරිත කිහිපයක් සිහිපත් කරන්න ඕනෙ. විකට රජා නාගේෂ්, සෞන්දර්යයෙන් පිරුණු සෞනර්දර්යා, ආදරණීය නිළිය ශ්‍රීවිද්‍යා, ශ්‍රේෂ්ඨ සංගීත අධ්‍යක්ෂ මෙල්ලිසෙයි මන්නර් එම්.එස්. විශ්වනාදන් (ඉලයරාජාට කලින් සිනමා සංගීතයෙ දැවැන්තයා.), චෝ රාමස්වාමි ඇතුළු සිනමාව වර්ණවත් කළ සියළු දැවැන්තයන්.

No comments:

Post a Comment