Saturday, January 13, 2018

ධනුෂ්ගේ හොඳම 10 ( කොලවෙරි එන්න කලින්) Dhanus's Best 10 ( Before Kolaveri)




කස්තුරි රාජා නම් පැරණි චිත්‍රපටි අධ්‍යක්ෂවරයා. වැඩි ගෞරවයක් නොලද්දා මුත් දෙමළ සිනමාව වෙනස් කරන්නට සමත් චිත්‍රපටි කිහිපයක් කළ අධ්‍යක්ෂවරයා. ඔහුගේ වැඩිමහල් පුත් සෙල්වරාඝවන් එක්ක එකතුවී ලියූ චිත්‍රපටියකින් තමන්ගේ බාල පුතා වන වෙන්කටේෂ් ප්‍රභූව සිනමාවට හඳුන්වා දුන්නා. අවුරුදු දහඅටේ පුංචි කොල්ලෙක් අරගෙන කරපු මේ චිත්‍රපටිය තුල්ලවදෝ ඉල්ලමෙයි. ඒ චිත්‍රපටිය තිරගත වෙද්දී අවුරුද විස්සේ හිටපු කෙට්ටුම කෙට්ටු පුංචි සිනමා වීරයා, අනෙක් සිනමා විරයන් මෙන් පෞරුෂය, ගර්වය, පුරුෂ බලය නියෝජනය කරනවා වෙනුවට බිය, යටහත් බව නියෝජනය කළා. මේ විශිෂ්ඨ තරුණයා රඟපාපු චිත්‍රපටි දෙකක් ඉන් අවුරුද්දකට පස්සේ තිරගත වුණා. එක් චිත්‍රපටියක් විචාරකයන්ගේ මුව අයවන්නට සමත් වුණා. ප්‍රේක්ෂකයාගේ ඇසට කඳුළු නංවන්නට සමත් වුණා. එය ඉන්දීය ජාතික සම්මානය නොලද්දේ ඒ අවුරුද්දේම තිරගත වූ දෙමළ චිත්‍රපටි දෙකක් වන අන්බේ සිවම් සහ පිදාමගන් චිත්‍රපටි දෙකේ කමල් හසන් සහ වික්‍රම් කළ රංගනයන් නිසායි. ඔහුගේ අනෙක් චිත්‍රපටියේ එක් ගීතයක් සහ චිත්‍රපටියේ විශේෂත්වය නිසා වසරේ තෙවැනි වැඩිම ආදායම උපයන්නට සමත් චිත්‍රපටිය බවට පත්වුණා. 


අවුරුදු නවයකට පස්සේ 2011 දී මේ රංගන ශිල්පියා තමන්ගේ උපරිමයට ළඟා වුණා. ඒ අවුරුද්දේදී හොඳම රංගන ශිල්පියාට හිමි ඉන්දීය ජාතික සම්මානය දිනාගත් ලාබාලම නළුවා බවට ඔහු පත්වුණා. ඒ එක්කම ඔහු ගැයූ ගීයක් අන්තර්ජාලය කැලඹුවා. වසරේ වැඩිම ප්‍රමාණයක් නැරඹූ වීඩියෝව බවට පත්වුණා. ඒ වසරේ ආ එක් චිත්‍රපටියක් සම්මාන පිට සම්මාන ලබද්දී අනෙක් චිත්‍රපටිය ඉහළම ආදායම් ඉපයුවා. 

ධනුෂ්. ඔහු තුළ ජනප්‍රියම නළුවා සහ විශිෂ්ඨතම නළුවා යන දෙදෙනාම ඉන්නවා. ඔහු තුළ සිනමා අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඔහු තුළ ගායකයෙක් ඉන්නවා. ගී පද රචකයෙක් ඉන්නවා. නර්තන ශිල්පියෙක් ඉන්නවා. තිර පිටපත් රචකයෙක් ඉන්නවා. නිෂ්පාදකවරයෙක් ඉන්නවා. ඔහු දැන් කී ක්ෂේත්‍රවලින් අධ්‍යක්ෂණය හැර අන් හැම ක්ෂේත්‍රයකින්ම සම්මාන දිනා තියෙනවා. අධ්‍යක්ෂණය කර ඇත්තේ තවම එක චිත්‍රපටියයි. ඉදිරියේදී ඔහු අධ්‍යක්ෂණය වෙනුවෙනුත් සම්මානයක් ලබන බව විශ්වාසයි. 

මේ විශිෂ්ඨයාගේ ඒ සියල්ල එසේ තියෙද්දී අපි කතාකරන්නේ ඔහුගෙ හොඳම චිත්‍රපටි දහය ගැනයි. ඒ දහයේ ලැයිස්තුව කොටස් දෙකකට කඩාගන්නයි අපේ කැමැත්ත. ඔහුව බොහෝදෙනෙකු දන්නේ, ඔහු බොහෝදෙනෙකුගේ ප්‍රියතම නළුවා බවට පත්වෙන්නේ 2011 න් පසුවයි. එහෙත් අපි ඔහුට කැමතිවුනේ ඉන් බොහෝ කාලයකට පෙරයි. ඉතින්, ඔහු ගැන බොහෝ දෙනෙක් දැනගත් 2011 අවුරුද්දට කලින් ඔහුගේ හොඳම චිත්‍රපටි 10 මොනවද. ඇත්තටම අවුරුදු තිහ ලබන්නට කලින් අවුරුදු විසි ගණන්වල ඔහුගේ හොඳම චිත්‍රපටි දහය මොනවද. දැන් ලස්සන පෙනුමක් තිබුණත් ඔහු කේඬෑරි කමේ මුදුන් මල්කඩ වෙලා හිටපු කාලයේ හොඳම චිත්‍රපටි දහය මොනවද. මේ අපේ ලැයිස්තුව.

10.   Thiruda Thirudi (2003)

මේ චිත්‍රපටිය මේ ලැයිස්තුවට එකතු නොකර බැරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ පිටපත එතරම් විශේෂ එකක්  නෙවෙයි. චිත්‍රපටිය අඩු වියදමකින් කරපු චිත්‍රපටියක්. මතක තබාගන්න ඕනෙ කාරණයක් තියෙනවා. ධනුෂ් සිනමාවට එන්නේ සිනමා පවුලකින් තමයි. එහෙත් ඔහුගේ පවුල සිනමාවේ රාජකීය පවුලක් නොවෙයි. ඔහුගේ පළවැනි චිත්‍රපටි අතිසාර්ථක ඒවා නෙවෙයි. ධනුෂ්ගේ අවුරුද්දේම සිනමාවට ආපුු සිම්බු තමයි ටිකක් ඉහළ සිනමා පියෙකුගෙන් ආපු නළුවා. සිම්බු තමයි ජූනියර් සුපර්ස්ටාර් නමින් හැඳින්වුවෙ. අනාගත සුපර්ස්ටාර් යැයි අභිෂේක කලේ. ඉතින් සිම්බුට වගේ ලොකු ෆිල්ම් වෙනුවට අඩු වියදම් ෆිල්ම් ධනුෂ්ට ලැබුණෙ. පළවැනි ෆිල්ම් තුනේදී ඔහු පෙන්වපු සුවිශේෂීත්වය නිසයි පසුව ඔහු සිනමාවෙ දැවැන්තයෙක් වුණේ.
පුංචි මුදලකින් කරපු චිත්‍රපටිය වසරේ දෙවැනි සාර්ථකම චිත්‍රපටිය බවට පත්වුණා. චිත්‍රපටියේ ආපු මන්මදරාසා ගීතය අතිශයින්ම ජනප්‍රිය වුණා. ධනුෂ් ඒ ගීතයේ පෙන්වපු ජවය අසමසමයි. මුහුණෙන්, පුංචි සිරුරෙන් ඔහු පුදුමාකාර ජවයක් පෙන්වුවා.


09.   Uthamaputhiran (2010)

      මේ චිත්රපටියම නැවත රෙඩී නමින් නිෂ්පාදනය කළේ සල්මාන් ඛාන්. රූපගත කිරීම් ලංකාවේදි කළ බව අපේ අයට මතක ඇති.
ජෙනේලියා සහ ධනුෂ් මනාව ගැලපුණු යුවලක් වුණා. ධනුෂ් රඟපාන චිත්‍රපටියක නම් හොඳම තත්වයේ මියුසික් බලාපොරොත්තු විය හැකියි. ඉතින් විජේ ඇන්තනි විසින් කරපු සංගීතය චිත්‍රපටිය අපූරුවට වර්ණවත් කළා. මේ වෙද්දී ධනුෂ් අර කේඬෑරි විරයාගේ තත්වයෙන් මිදෙන්නට පටන් අරගෙන. ඔහු ඒ වෙද්දී ආදරණීය වීරයෙක් බවට පත්වෙමින් හිටියා. දහඅතේ ගලාගිය, සරල හාස්‍යමය නිර්මාණයක් වුණත් ධනුෂ්ට ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන රසය ලබාදෙන්නට මේ චිත්‍රපටියෙන් හැකිවුණා.
මේ පිටපත 2008 තිරගත වුණ රෙඩී නම් තෙළිඟු චිත්‍රපටිියෙන් ගත් එකක්. ධනුෂ්ගේ 2010 දී සාර්ථක වුණ විශිෂ්ඨ තෙළිඟු ප්‍රතිනිර්මාණ දෙකෙන් එකක්. මිත්‍රන් ජවාහර් නම් අධ්‍යක්ෂවරයා චිත්‍රපටි රීමේක් කිරීමෙහි විශිෂ්ඨයෙක්. ඔහු වැඩේ පටන්ගත්තේ මේ ලැයිස්තුවේ ඉහළින් තියෙන යාරඩී නී මෝහිනී චිත්‍රපටියෙන්. 2008දී. ඉන්පස්සෙ 2010 ආපු කුට්ටි චිත්‍රපටිය ඔහු ප්‍රතිනිර්මාණය කළා. මේ ධනුෂ් එක්ක කරපු තෙවැනි චිත්‍රපටිය. චිත්‍රපටි තුනම ආදායම් අතින් අතිසාර්ථකයි. 


08.   Polladhavan (2007)


ධනුෂ්ගේ පෙනුම බොහෝදුට බෘස්ලිට සමානයැයි කියනවා

වෙට්ට්‍රිමාරන් සහ ධනුෂ් එක්වීම මොනවගේදැයි අමුතුවෙන් කිවයුතු නැහැ. ලංකාවෙන් ගිය අපූරු විශිෂ්ඨයා වන බාලු මහේන්ද්‍රාගේ ශිෂ්‍යයා තමයි වෙට්ට්‍රිමාරන්. පොල්ලදාවන් ප්‍රවේගය නමින් සිංහලෙන් ප්‍රතිනිර්මාණය වුණ බව බොහෝ දෙනෙක් දන්නවා ඇති.
ධනුෂ්ගේ රසිකයන් හැමවිටම තරුණයන්. ඔහු 2011 තෙක් කරපු චිත්‍රපටි සියල්ලේම පාහේ මූලිකම තේමාව තාරුණ්‍යය ඉලක්ක කරගත් ඒවා. ඒ චිත්‍රපටිවල පියපුතු ගැටුම් බොහෝවිට තියෙනවා. බොහෝවිට පියා සමඟ ගැටෙන දුරදිග නොබලන තරුණයන්ගේ චරිත ධනුෂ් රඟපානවා. පොලදාවන් චිත්‍රපටියත් එබඳු එකක්. පියා සමඟ ගැටෙමින් මෝටර් බයිසිකලයක් ගැනීමේ සිහිනය පසුපස යන තරුණයෙක්. තමන්ගේ මෝටර් සයිකලය හදිසියේ නැතිවූ පසුව එය සොයායන තරුණයෙක්. අනෙක් පැත්තෙන් තමන්ගේ පාතාල නායක අයියාගේ ගෞරවය දිනාගන්නට උත්සාහ කරන තරුණයෙක්. දෙදෙනා අතර ගැටුමයි චිත්‍රපටියේ මධ්‍ය තේමාවේ එන්නේ. පියාපුතු කතාවත් චිත්‍රපටියෙ අපූරුවට කියනවා.


07.   Adhu Oru Kana Kaalam (2005)

ධනුෂ් සහ ප්‍රියමනි රඟපෑ. බාලු මහේන්ද්‍රා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටිය. මීට ඉහළින් බාලු මහේන්ද්‍රාගේ සිසු වෙට්ට්‍රිමාරන්ගේ පොල්ලදාවන් ගැන කතාකළා. ධනුෂ්ගේ මුල් කාලයේ චිත්‍රපටිවල පියපුතු ගැටුම ගැන කතාකරද්දී බාලු මහේන්ද්‍රාගේ චිත්‍රපටිය ඒ ගැටුම මුලින්ම ඉදිරියට ගත් චිත්‍රපටි කිහිපයෙන් එකක් බව කිවහැකියි. ධනවත් පවුලක නවයොවුන් තරුණයෙක් වන සීනුගේ චරිතය ධනුෂ් කරනවා. ඔහුගේ පියා සහ මව චාරිකාවකට යනවා. තරුණයා ගැන සොයා බැලීමට ගැහැණියකට දැනුම් දෙනවා. එහෙත් ඒ ගැහැණිය අසනීප වීම නිසා ඇගේ දියණියව එවනවා. සීනු ඇයට ආදරය කරනවා.

චිත්‍රපටිය සිවකාසි සහ මජා චිත්‍රපටි දෙකත් සමඟ එකට තිරගත වූ නිසා සම්පූර්ණයෙන් අසාර්ථක වෙලා. විචාරකයන් පවා චිත්‍රපටිය ගැන මහා ඉහළින් කතාකරන්නේ නැහැ. එහෙත් මෙය අපේ ප්‍රියතම චිත්‍රපටියක්. විශේෂයෙන් බාලු මහේන්ද්‍රාගේ අධ්‍යක්ෂණය මෙන්ම ඉලයරාජාගේ සංගීතය අමතක කරන්න බැහැ. ධනුෂ්ගේ ප්‍රතිරූපය හැඩගස්වන්නට සහ ඔහුගේ සිනමා ජීවිතය වර්ණවත් කරන්නට මේ චිත්‍රපටිය හේතුවුණා.


06.   Kutty (2010)





උත්තමපුතිරන් චිත්‍රපටිය ගැන කතාව අවසන් කළේ මිත්‍රන් ජවාහර් තමන්ගේ පළමු චිත්‍රපටි තුන ධනුෂ් එක්ක කරලා සාර්ථකත්වය ලැබූ හැටි කියමින්. මේ මිත්‍රන් ජවාහර්ගෙ දෙවැනි චිත්‍රපටිය. එයත් අතිසාර්ථකයි. අපේ රටේත් මේ චිත්‍රපටිය ෆීල් මයි ලව් නමින් ප්‍රතිනිෂ්පාදනය වුණා.

තරුණියකට ආදරය කරන තරුණයෙක් නම්, මේ චිත්‍රපටිය සුවිශේෂී විදියට දැනේවි. ඒ වගේමම ආදරය ඉල්ලමින් තමන් පසුපස එන කොල්ලෙක්ට වෛර කරන තරුණියක් නම් මේ චිත්‍රපටිය ඒ තරම්ම හොඳින් දැනේවි. දේවි ශ්‍රී ප්‍රසාද් විසින් ධනුෂ්ගේ මේ චිත්‍රපටිය අපූරුවට සංගීතවත් කරලා තිබුණා. ඒ නිසා සිංදු ටික ඇහුවත් හිත නැලවේවි.
‘ඔබ කෙනෙක්ට ආදරය කරනවානම්. ආදරය ගැන විශ්වාසය තබාගන්න. ඇය ඔබට ආදරේ නැතිබව කීවත් අත්හරින්න එපා. ඔබේ ආදරය ගැන විශ්වාසය තබාගන්න. යම් මොහොතක ඔබේ ආදරය ඇයට දැනේවි.’ චිත්‍රපටියෙ තේමාව මෙබඳු එකක්. තරුණ තරුණියන් අතර විශ්වාස කරන්න බැරි තරම් ජනප්‍රියත්වයක් මේ චිත්‍රපටිය ලැබුවා. 


05.   Mayakkam Enna (2011)



ආදරණීය අයියා සෙල්වරාඝවන් කස්තුරි රාජාගෙන් මල්ලි වෙන්කටේෂ් ප්‍රභූ කස්තුරිරාජාට (ධනුෂ්ට) තවත් චිත්‍රපටියක්

කොලවෙරි ඩී එන්න කලින් ධනුෂ් චිත්‍රපටි අතරින් අවසාන එක තමයි මයක්කම් එන්න චිත්‍රපටිය. මේ චිත්‍රපටිය තිරගත වෙන අතරේ කොලවෙරි ඩී විසින් යූටියුබ් වෙබ් අඩවිය උඩු යටිකුරු කළා. ඉන්දීයාවේ වැඩියෙන්ම සෙවූ යූටියුබ් වීඩියෝව බවට කොලවෙරි ඩී පත්වුණා. ඉතින් ඉන්පසුව සිටින ධනුෂ් මයක්කම් එන්න තිරගත වෙද්දී හිටපු ධනුෂ්ම නොවෙයි. කලාපයම හොඳින් අඳුනගත්ත ධනුෂ් කෙනෙක්.

පෙර කී විදියටම මේ චිත්‍රපටියත් තාරුණ්‍යයේ වල්මත්වීම ගැන කතාකරපු චිත්‍රපටියක්. තමන්ගේ මාවතක් හොයන තරුණ ඡායාරූප ශිල්පියෙක්. යාළුවෝ කණ්ඩායමක් සමඟ එකටම ඉන්න තරුණයෙක්. යාළුවාගේ පෙම්වතියට රහසින් ආදරය කරන්න පටන්ගන්නා තරුණයෙක්. ධනුෂ්ගේ රංගන හැකියාව අපූරුවට මතුකෙරුණු චිත්‍රපටියක්. ජී.වී. ප්‍රකාශ් කුමාර්ගේ අපූරු සංගීත අධ්‍යක්ෂණයක්. ධනුෂ්ගේ චිත්‍රපටිවල තවත් සුවිශේෂී ලක්ෂණයක් වෙච්ච මානසික රෝග තේමා කරගත්ත චිත්‍රපටියක්. 


04.   Pudhupettai (2006)
 
කොක්කි කුමාර්ව රැගත් පුදුපේට්ටායි චිත්‍රපටිය දෙමළ සිනමාවේ තවත් වර්ණවත් සලකුණක්. පුදුපේට්ටායි මුඩුක්කු නිවාසවල පාසැල් සිසුවෙක් වන කොක්කි කුමාර් දිනක් දකින්නේ තමන්ගේ පියා විසින් මව ඝාතනය කරන අන්දම. ඝාතනය සියැසින් දකින කුමාර්ව ඝාතනය කරන්නටද පියා උත්සාහ කරද්දී කුමාර් පැන දිවයනවා. කෑමක් බීමක් නැතිව මහපරාට වැටෙන කුමාර් මැර කල්ලියකට මැදිවෙනවා. කුමාර්ද කල්ලියට එක්වෙනවා. ඔහු බියසුල්ලෙක්. ඒ අතරේ කුමාර් ක්‍රිෂ්නවේනි නම් තමන්ට වඩා වැඩිමහල් ලිංගික ශ්‍රමිකාවක් සමඟ ආදරයෙන් බැඳෙනවා. කතාව මෙසේයැයි කෙටියෙන් කියන්න බෑ. විවිධ පැතිවලට විහිඳෙන කතාවේ කතාකෙරෙන්නේ යහපත් මිනිසෙකු, අවංක මිනිසෙකු ගැන නෙවෙයි. අවංක, යහපත්, ආදර්ශවත් වීරයාගේ සිනමාව ධනුෂ්ගේ සිනමාව නෙවෙයි. ඔහුගේ චිත්‍රපටිවල අනෙක් විශේෂත්වය ඒකයි. ඔහු අපරාධකරුවෙක්. එහෙත් ඔහුගේ ඇතුලත සිය මව ඝාතනයට ලක්වෙන අයුරු සියැසින් දුටු බියපත් තරුණයා ඉන්නවා. ඒ බිය විසින්ම ඔහුව හිත්පිත් නැති ඝාතකයෙක් තත්වයට පත්කෙරෙනවා. ශක්තිවන්තයා ආරක්ෂා වේවි. දුර්වලයා ඉතිහාසයේ සැඟව යාවි. නරුම සමාජය අපූරුවට චිත්‍රණය කරන්නට චිත්‍රපටිය සමත්. මේ චිත්‍රපටියත් ධනුෂ්ගේ අයියා සෙල්වරාඝවන්ගේ අධ්‍යක්ෂණයක්.

මේ දර්ශණය විතරක් බලන්න. ධනුෂ්ගේ රංගන හැකියාව.  චිත්‍රපටියේ සුවිශේෂීත්වය පැහැදිළි වේවි. 




03.   Aadukalam (2011)

මේ චිත්‍රපටිය ධනුෂ්ට විශාල ගෞරවයක් ගෙන ආ චිත්‍රපටිය. වෙට්ට්‍රිමාරන් නම් අධ්‍යක්ෂවරයාව නිවැරදිවම අඳුනගන්න පුළුවන් වුණ චිත්‍රපටිය. ඒ වගේම ලංකාවේ කවියෙක් සහ අපේ මිත්‍රයෙක් වන වී.අයි.එස්. ජෙයපාලන් සිනමාවට පා තැබූ චිත්‍රපටිය. ඉන්දීය ජාතික සම්මාන උළෙලේදී විය නොහැක්කක් වෙමින් හොඳම නළුවා, හොඳම තිර රචනය සහ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබූ චිත්‍රපටිය. ආදුකාලම් මේ තරම් විශේෂ ඇයි. මනුෂ්‍යත්වය මේ තරම් ගැඹුරු විදියට පෙන්වමින් ජනප්‍රිය ගණයේ චිත්‍රපටියක් තැනීමේ කලාව වෙට්ට්‍රිමාරන් ඉගැන්වුවේ මේ චිත්‍රපටියෙන්. දෙමළ සිනමාවට නව මානයක් ලැබුණෙ මේ චිත්‍රපටියෙන්.

ජී.වී. ප්‍රකාශ් කුමාර් කියන තරුණයාගේ සංගීතය ධනුස්ට වගේම වෙට්ට්‍රිමාරන්ගේ මේ අරුම පුදුම සිනමා කලාවට මනාව ගැලපුණා. වෙට්ට්‍රිමාරන් කියන පුදුමාකාර අධ්‍යක්ෂවරයා මදුරෙයි වල අවුරුදු දෙකක් නැවතිලා ඉඳිමින් සාමාන්‍ය මිනිස්සුන්ගෙ හැසිරීම් අඳුනගත්තාට පසුවයි ආදුකාලම් නිර්මාණය කළේ. මේ චිත්‍රපටියත් ධනුෂ්ගේ ජයග්‍රාහී සහෝදරයා සෙල්වරාඝවන් විසින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියක්. ඇත්තෙන්ම ධනුෂ්ගේ සිනමා දිවිය වාසනා කරන්නට සෙල්වරාඝවන් සහ වෙට්ට්‍රිමාරන් දැවැන්ත මැදිහත්වීමක් කළා. 




02.   Yaaradi Nee Mohini (2008)



යළි යළිත් නරඹන්නට කැමති ධනුෂ්ගේ චිත්‍රපටිය කුමක්දැයි විමසුවොත් මේ චිත්‍රපටිය බොහෝ දෙනෙකුගේ පිළිතුර වේවි. සරල ආදර කතාවක්. සුපුරුදු ලෙස ධනුෂ්ගේ තවත් පියපුතු ගැටුමක්. මේ චිත්‍රපටිය අප කලින් කී මිත්‍රාන් ජවාහර් සහ ධනුෂ්ගේ චිත්‍රපටි ත්‍රිත්වයෙන් පළමුවැන්න. හැබැයි මේ චිත්‍රපටියත් ධනුෂ්ගේ වාසනාවන්ත සහෝදරයා විසින්ම ලියූ චිත්‍රපටියක්. සෙල්වරාඝවන් විසින් තෙළිඟු භාෂාවෙන් 2007 දී නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක් මෙය. මේ චිත්‍රපටියේ තිර පිටපතත් සෙල්වරාඝවන් විසින්ම ලියූවක්.

මේ චිත්‍රපටියේ ගීත කිහිපය කිසිදා අමතක කළ නොහැකියි. උදිත් නාරායන්, හරිහරන්, හරිචරන්, ඇන්ඩ්‍රියා, කාර්තික් ඇතුළු විශිෂ්ඨම ගායක ගායිකාවන් පිරිසක් චිත්‍රපටියේ ගායනයෙන් එක්වෙනවා. ඒ අතරින් එන්ගේයෝ පාර්ත මයකුම් සහ වෙන්මේගම් කියන ගීත දෙකේ රූපරාමු අසමසමයි. අතිවිශිෂ්ඨයි. 


01.   Kaadhal Kondein (2003)




මේ චිත්‍රපටිය අංක එකට එන බවට කිසිම සැකයක් තිබුණෙ නැහැ. ධනුෂ්ගේ මෑත කාලයේ චිත්‍රපටි එක්ක ගත්තත් මේ චිත්‍රපටිය විශේෂයි. ධනුෂ්ගෙ චිත්‍රපටිවල වල්මත් තාරුණ්‍යය, පියපුතු ගැටුම මෙන්ම තවත් විශේෂ තැනක් තමයි මානසික අවුල්. ත්‍රී, කොඩි, මයක්කම් එන්න, කාදල් කොන්ඩේන් වගේ ජනප්‍රියම චිත්‍රපටිවල තියෙනවා මේ කතාව. 

ධනුෂ් රඟපාන විනෝද් නම් චරිතය පුංචි කාලයේ අනාථ කඳවුරක සිටි තරුණයෙක්. අසාමාන්‍ය බුද්ධියක් ඇති මේ තරුණයාට කොලේජ් එකක ( ලංකාවේ විශ්වවිද්‍යාලයක් වැනි) ඉගෙනගන්නට අවස්ථාව ලැබෙනවා. එයට පැමිණෙන අනෙක් සිසුන් ආර්ථික පසුබිමක් තියෙන අය.  රෑට රැකියාවක් කොට විද්‍යාලයට එන ධනුෂ් දවල්වරුවේ පංතිකාමරයේ නිදාගන්නවා. එහෙත් ඔහු අසාමාන්‍ය බුද්ධිමත් තරුණයෙක්. ඔහු ළඟට දිව්‍යා නම් තරුණිය ළං වෙනවා. ඒ පාඩම් ඉගෙනගැනීමේ අපේක්ෂාවෙන්. දිව්‍යාට ආදි නම් තරුණයෙක් ආදරය කරනවා. දිව්‍යාත් ඔහුට ආදරය කරන බව විනෝද් දැනගන්නවා. විනෝද් පුංචි කාලයේ ඉඳන් සියල්ල අහිමිවුණ තරුණයෙක්. ඔහුට ලැබුණු එකම දේ දිව්‍යා. එය ඔහුගේ ඇස් ඉදිරිපිට වෙනත් අයෙකු හිමිකරගන්නවා බලා ඉන්න ඔහුට බැහැ. මේ මහා අවුලට මැදිවෙන තරුණයාගේ කතාවයි චිත්‍රපටිය. කෙට්ටු කේඬෑරි, රැවුලක්වත් නැති ධනුෂ්ව මනාවට චිත්‍රණය වෙන චිත්‍රපටිය. එදා සිටි ධනුෂ් වැනි නළුවෙක් කිසිදා සිනමාවේ සිට නැතිව ඇති. කිසිදා බිහිනොවනු ඇත. ධනුෂ්ගේ විශිෂ්ඨත්වයේ කැඩපතයි කාදල් කොන්ඩේන්. ධනුෂ්ට අප ආදරය කරන්න පටන්ගත් තැන එයයි.

No comments:

Post a Comment