Monday, January 15, 2018

සේදුපතිගෙන් උපන්දින තෑග්ගක්



අලුත්ම චිත්‍රපටියේ පෝස්ටරය නිකුත් වුණා.



‘අලුතෙන් එන හොඳම ෆිල්ම් ටික සේදුපතිට යනව. අපට ෆිල්ම් නෑ.’ මෙන්න මේ වගේ පැමිණිල්ලක් කළේ සිද්ධාර්ත්. එය නෝක්කාඩුවක් වගේ. සිද්ධාර්ත් විජේ සේදුපතිගේ හොඳම මිත්‍රයෙක්.

විජේ සේදුපති. නව දෙමළ සිනමාවේ මුහුණ. මක්කල් සෙල්වන්. පමාවෙලා සිනමාවට ආ තරුව. ඔහුගේ හතළිස්වැනි උපන්දිනය අද. 




ඒ එක්කම සේදුපතිගේ විසිපස්වැනි චිත්‍රපටියේ පළමු පෝස්ටරය නිකුත්වෙලා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ නඩවුල කොන්ජුම් පකාත කානුම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ බාලාජි ධරනීධරන් විසින්.
සේදුපති හරිහැටි සිනමාවට ආවේ 2010 දී සීනු රාමසාමිගෙ ෆිල්ම් එකකින් බව මතක ඇති. වේන්ගයි වගේ ජනප්‍රිය ෆිල්ම්වල කැමරාවට මූණ පෙන්වාගැනීමේ අභියෝගයට මුහුණදෙමින් සිටි සේදුපති අවුරුදු 32 දී විතර තමයි තමන්ගෙ පළවැනි අවස්ථාව ලැබුවෙ.
දැන් සේදුපති තමන්ගෙ විසිපස්වැනි චිත්‍රපටිය පළමු පෝස්ටරය නිකුත් කරනවා.
 
නඩවුල කොන්ජුම් පකාත කානුම්
2013 පහුවෙද්දී සේදුපතිට එකදිගට ෆිල්ම් ලැබෙන්න ගත්තා. සේදුපතිට චිත්‍රපටියක චරිතයට ඇතුළුවීම අපහසු නෑ. මොකද ඔහු රඟපානවා කියා අලුත් යමක් නොකරන නිසා. තමන්ගේම තුළ සිටින චරිතයක් අනායාසයකින් එළියට ගැනීමයි ඔහු කරන්නේ.
ඉතින් සේදුපතිගෙ ෆිල්ම් එකදිගට ආවා. පහුගිය අවුරුදුවල වසරකට ෆිල්ම් පහක් හයක් නිකුත්වුණා. සරලවම කීවොත් පහුගිය අවුරුද්දෙ හැමදාම රටේ එක ශාලාවක හෝ සේදුපතිගෙ ෆිල්ම් එකක් තිබුණා. එකක් ගැලවෙද්දී තව එකක් ආවා.

බොහෝවිට නවක සිනමාකරුවන් තමන්ගේ පිටපත අරගෙන සේදුපති ළඟට ගියා. නම් වශයෙන් කීදෙනෙක්ද. බාලාජි, විග්නේෂ් සිවන්.

සේදුපති බොහෝවිට අඩු මිලකට රඟපෑවා. ඉතින් ලෝ බජට්, හයි ක්‍රියේටිව් නිර්මාණ ඔහුට ලැබුණා. අවුරුද්දකට ෆිල්ම් තොගයක රඟපෑවත් කතාව තියෙන්නෙ ස්ක්‍රිප්ට් එකේ නිසා ඔහුට ලැබුණු ෆිල්ම් දිරවාගැනීම අමාරුවුනේ නෑ. හැමදාම ස්ක්‍රීන් එකේ දැක්කත් පාඩු වුණේ නෑ. 

මේ ෆිල්ම් එක්ස්ප්‍රස් එක අවුරුදු හතළිහේදීවත් නොනවතින බව විශ්වාසයි. ඒත් සේදුපති විසිපස්වැනි චිත්‍රපටිය සහ හතළිස්වැනි අවුරුද්ද ලබද්දී හොඳටම තේරුම් ගත යුතු දෙයක් තමයි ලෙස් ඊස් මෝ කියලා. 

අවුරුද්දකට ෆිල්ම් එකක් හෝ දෙකක් කළානම් තමයි හොඳ. තමන්ට ලැබෙන පිටපත් අතරින් හොඳම ඒවා තෝරාගෙන ඒවායේ රඟපෑවානම් තමයි හොඳ. එක පැත්තකින් සිද්ධාර්ත් වැනි රංගන ශිල්පීන්ටත් අවස්ථාවක් ලැබෙන්න ඕනෑනේ. අනෙක් පැත්තෙන් සේදුපතිට එන පිටපත් ගොඩදැමීමේ හැකියාව තියෙන තරුණ රංගන ශිල්පියෝ බොහොමයක් ඉන්නවා. 

එහෙත් අවුරුද්දකට එකක් හෝ නවක අධ්‍යක්ෂවරයෙකුගේ ලෝ බජට් චිත්‍රපටියක් තෝරාගැනීම නම් හොඳයි. 

කොහොම වෙතත් සිනමාවේ අලුත් දේවල් කරන්න සේදුපතිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සුභ කොලිවුඩ් සිහිනයක් සුළඟේ පා කරලා ඉන්දියාවට යවනවා.

No comments:

Post a Comment