Wednesday, February 7, 2018

දෙමළ සිනමාව නවකයන්ගෙන් හැඩවුණු වසරක්

ලංකාවේ සිනමාකරුවන් බොහෝවිට මැසිවිලි නඟන්නේ චිත්‍රපටි කරන්නට මුදල් නොමැති බවත් ආදායම් උපයන්නට තරම් ප්‍රේක්ෂකාගාරයක් නොමැති බවත් කියමිනි. ඇතැම් තරුණ නිර්මාණකරුවන් ප්‍රේක්ෂකාගාරයෙන් ආදායම් ලැබිම වෙනුවට සම්මාන ඉලක්ක කරගනිමින් නිර්මාණ කරන බව ‍පෙනෙයි. එහෙත් මේ සටහනෙන් කතාබහට ලක්වෙන චිත්‍රපටි සියල්ලම පාහේ ඉතා පුංචි වියදමකින් කළ සාර්ථක නිර්මාණ වන අතර සිනමාව තවදුරටත් මුදල් මත පදනම් වූ කලාවක් නොවන බවට මනා සාක්ෂි සපයන නිර්මාණ එකතුවකි. මේ කතාබහ 2017 වර්ෂයේ දෙමළ සිනමාවේ තිරගත වූ නවක නිර්මාණකරුවන්ගේ චිත්‍රපටි පිළිබඳවයි. 





ටොයිලට් ඒක් ප්‍රේම් කතා විශේෂ නිර්මාණයකි
 
පැහැදිළිවම ඉන්දීය සිනමාව දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් තිබේ. දැවැන්ත නිර්මාණකරුවන් සහ සුපිරි තරු පරාජයේ වේදනාව විඳිමින් සිටින අතර බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම නිර්මාණකරුවන් විසින් මෑත කාලයේ අසාර්ථකම වර්ෂය 2017 බව පවසා ඇත. බොහෝ චිත්‍රපටි අසාර්ථක වෙද්දී ටොයිලට් ඒක් ප්‍රේම් කතා, නිව්ටන් වැනි වෙනස් චිත්‍රපටි සාර්ථකත්වය ලබා ඇත. මේ කාලය වඩා දැවැන්ත බොලිවුඩ් සිනමාවත් දකුණු ඉන්දියාවේ සිනමාවෙන් පාඩම් ඉගෙනගන්නා කාලයකි. පසුගිය දෙසැම්බරයේ පැවති සාකච්ඡාවකදී ඒක්තා කපූර්, කරන් ජෝහාර් වැනි බොලිවුඩ් නිර්මාණකරුවන් ප්‍රසිද්ධියේ ඒ බව කියා තිබුණි. බොලිවුඩයත් දකුණෙන් සිනමාව ඉගෙනගන්නා කාලයක ලංකාවේ අපද දකුණු ඉන්දියාවෙන් සිනමාව ඉගෙනගැනීම වැදගත්ය. දකුණු ඉන්දියාවේත් සුපිරි තරු නොවන තරුණයන්ගෙන් ඉගෙනගන්නට දේ බොහෝය. 

මේ සටහන පසුගිය වසරේ ප්‍රවීණයන්ටත් අලුත් දේවල් උගන්වන්නට සමත් වූ නවකයන්ගේ නිර්මාණ කිහිපයක් ගැනයි. නවක අධ්‍යක්ෂවරුන් විසින් නිර්මාණය කළ මේ චිත්‍රපටි කිහිපය වසරේ වැඩිම කතාබහට ලක්වූ චිත්‍රපටි අතරට එක්විය. 

මානගරම් ( Managaram )



මේ කතාබහ ආරම්භ කරන්නට හොඳම නිර්මාණය ලෝකේෂ් දේව්රාජ්ගේ මානගරම් චිත්‍රපටියයි. හැකියාවෙන් පිරිපුන් තරුණ රංගන ශිල්පීන් වන ශ්‍රී, සුන්දීප් කිෂන් සහ රෙජිනා කසන්ඩ්‍රා චිත්‍රපටියේ ප්‍රධාන චරිත සමඟ එක්වෙද්දී චාලි, රාම්ඩෝස්, මධුසුධන් රාඕ ප්‍රේක්ෂකාගාරය මවිත කරවන රංගනයන් ඉදිරිපත් කර තිබුණි. වසර දෙකක් තිස්සේ නිර්මාණය වුණ චිත්‍රපටිය සුළුවෙන් තිරගත කිරීම් ඇරඹුවත් ඉක්මනින්ම ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට සමත්වීම නිසා වැඩි සිනමාහල් ප්‍රමාණය තිරගත කෙරුණි.

මානගරම් චිත්‍රපටිය අහඹු සිදුවීම්වලින් පිරුණු ත්‍රාසජනක චිත්‍රපටියකි. චෙන්නායි නගරයේ රාත්‍රියක සිදුවෙන අනුකම්පා විරහිත සිදුවීම් පෙලකට මුහුණදෙන ගමෙන් නගරයට ආ තරුණයෙක් සහ තවත් චරිත රැසක් වටා චිත්‍රපටිය ගෙතෙයි. රාත්‍රියෙහි චිත්‍රපටියේ වැඩි කොටස ගලා යද්දී නගරයෙහි අනාරක්ෂිත බව සමඟ නගරයෙහි ආරක්ෂා වීමට නම් අනෙකාව අමතක කර ආත්මාර්ථකාමී විය යුතු බව චිත්‍රපටිියේ චරිත විසින් පුනරුච්ඡාරණය කරයි. සියළු චරිත ජීවිත සටන සමඟ ගැටගැහෙද්දී ආත්මාර්ථකාමී නොවන චරිත නොසිතූ කරදරවලට මුහුණදෙයි. එකිනෙකා චරිත මුණගැසෙන, වෙන්වෙන අතර හැම චරිතයකටම වැදගත්කමක් ලැබෙයි. දින දෙකක සිදුවීම් පෙලක් අපූරුවට චිත්‍රපටියෙහි ගලායන්නේ ප්‍රේක්ෂකයාට මොහොතක්වත් මඟහැරෙන්නට ඉඩ ලබා නොදෙමිනි.

එට්ටු තොට්ටාක්කල් ( 8 thottakkal )

උණ්ඩ අටක් හෙවත් එට්ටු තොට්ටාක්කල් චිත්‍රපටිය අප්‍රේල් මාසයේ තිරගත වුණ අනෙක් විශේෂ චිත්‍රපටියයි. ශ්‍රී ගනේෂ් නම් නවක අධ්‍යක්ෂවරයෙක් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන රංගන ශිල්පියා ලෙස වෙට්ට්‍රි නම් නවක නළුවෙක් ඉදිරිපත්ව තිබුණි. නවකයන්ගේ චිත්‍රපටියක් වූ මෙයද සාර්ථක ආදායම් ලබන්නටද විශාල බලපෑමක් කරන්නටද සමත් විය. 

වසර ගණනාවක් තිස්සේ දෙමළ සිනමාවේ නොවැදගත් චරිතවලට පාවිච්චි කෙරුණු ප්‍රවීණ රංගන ශිල්පී එම්. එස්. බාස්කර්ගෙන් මෙතෙක් කිසිම අධ්‍යක්ෂවරයෙකුට ගත නොහැකි වූ අපූරු රංගනයක් ලබාගන්නට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. සාමාන්‍ය හොරා පොලිස් චිත්‍රපටියක් බලාපොරොත්තුවෙන් සිනමාහලට යන ප්‍රේක්ෂකයාට හොඳ නරක, මනුෂ්‍යත්වරය, හරි වැරැද්ද පිළිබඳ සංකීර්ණ චිත්‍රයක් ගොඩනංවන්නට චිත්‍රපටිය සමත් වෙයි. මිනිසුන් හොඳ හෝ නරක වෙන්නේ තෝරාගැනීමක් ලෙසද. එක් කතාවක හොඳ චරිතය හෙට තවත් කතාවක නරක චරිතයක් වෙන්නේ කෙසේද. අපූරුවට ලියැවුණු පිටපත ඛේදයෙන් පිරුණු ආදරණීය කතාවක් නිර්මාණය කරයි. යුක්තිය හෝ නීතිය ගැන විශ්වාසය බිංදුවට වැටී ඇති අන්දම මෙන්ම අවංක වීම සැබෑ ජීවිතයේදී ජයග්‍රහණයට නොව පරාජයට හේතුවන අන්දම චිත්‍රපටියෙහි පෙන්වයි. අනිවාර්යයෙන් නැරඹිය යුතු වසරේ හොඳම චිත්‍රපටියකි.

පවර් පාණ්ඩි ( Power Pandi )

පවර් පාණ්ඩි චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා නවකයෙක් වන්නේ අධ්‍යක්ෂණයට පමණි. අත්දැකීම්වලින් සපිරි ධනුෂ් තමන්ගේ පළමු චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ ප්‍රවීණ නළු රාජ්කිරන් සමඟයි. විශ්‍රාමික සටන් අධ්‍යක්ෂවරයෙක් තමන්ගේ තරුණ කාලයේ පෙම්වතිය සොයා යන අන්දම චිත්‍රපටියේ කතාවෙහි එයි. ෂෝන් රෝල්ඩන් විසින් සුන්දර සංගීත නිර්මාණයන් චිත්‍රපටියට ගෙන එයි. පුංචි වියදමකින් තැනුණු චිත්‍රපටිය ඉහළ ආදායම් උපයන්නට සමත් වුණේ ධනුෂ් තවත් ක්ෂේත්‍රයක විශිෂ්ඨයෙක් බව පෙන්වමිනි.

ලෙන්ස් ( Lens )



මලයාලම් සහ දෙමළ භාෂාවලින් එකවර නිෂ්පාදනය වු ලෙන්ස් චිත්‍රපටිය ජයප්‍රකාශ් රාධක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්ෂණය කළ ලෙස්න් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයත් ඔහු විසින්ම රඟදක්වයි. අනෙක් ප්‍රධාන චරිතය ආනන්ද් සාමි විසින් රඟදක්වන අතර විනූදා ලාල්, මීෂා ගෝෂාල් ප්‍රධාන කාන්තා චරිත වලින් රංගනයට එක්වෙයි. 

අන්තර්ජාල යුගයේ අනෙක් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය අන්තර්ජාලය තුළින් නිරීක්ෂණය කරන්නට මිනිසුන් හුරුවෙද්දී ලෙන්ස් චිත්‍රපටිය ඒ ගැන කතාකරයි. ස්කයිප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ඇතිවන සම්බන්ධතා මෙන්ම අනුන්ගේ ජීවිත නිරීක්ෂණය කිරීම පිළිබඳම චිත්‍රපටියේ කතාකරයි. මේ මාතෘකාවම කතාකරන චිත්‍රපටි කිහිපයක් 2017 වර්ෂයේ තිරගත විය. මේ වෙද්දී දෙමළ සිනමා අධ්‍යක්ෂවරුන් සහ රචකයන් මේ ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කරන බව පෙනෙයි. 

ඔරු කිඩයින් කරුනයි මනු ( oru kidayin karunai manu )

විධාර්ත් අපූරු නළුවෙකු බව ඔහුගේ පහුගිය චිත්‍රපටි සියල්ලෙන්ම පාහේ ඔප්පු කරන්නට සමත්ව ඇත. තරු වෙනුවට රංගන ශිල්පීන් අවශ්‍ය වෙන කාලයක විධාර්ත් ඒ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට සුදුසුකම් ඇති රංගන ශිල්පියෙක් බව පෙන්වා ඇත. මේ සටහනේ කතාකරන චිත්‍රපටි දෙකකම ප්‍රධාන රංගන ශිල්පියා ඔහුය. විධාර්ත්ව ප්‍රධාන චරිතයට ගෙන එමින් ඔරු කිඩයින් කරුනයි මනු නිර්මාණය කළේ සුරේෂ් සංගයියා නම් අධ්‍යක්ෂවරයා විසිනි. ඔහුගේම පිටපතක් අනුව නිර්මාණය කළ මේ චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂවරයා ආර්.වී. සරන් නම් තරුණයෙක් වන අතර මේ චිත්‍රපටිය ඔහුගේ හැකියාව මනාව ප්‍රකට කරන්නකි. ආර්. රඝුරාම් විසින් සංගීතය නිර්මාණය කළේය.

හැම චරිතයක්ම අපූරුවට මතක හිටින ආකාරයට නිර්මාණය කර ඇති මේ චිත්‍රපටිය එක් ආකාරයකට ‘රෝඩ් මූවි’ එකක් ලෙසින් ආරම්භ වෙයි. එළුවෙක් බිලි කොට බාරයක් ඔප්පු කිරීම පිණිස දුරබැහැර පිහිටි දේවාලයකට ගමන් අරඹන තරුණ යුවලක් ගමන මඟදී නොසිතූ අන්දමේ අත්දැකීම් පෙලකට මුහුණදෙන අන්දම චිත්‍රපටියෙහි එයි. එළුවා චිත්‍රපටියෙහි අපූරු සංකේතයක් ලෙස පාවිච්චි වෙයි. චිත්‍රපියේ සිදුවන සියල්ල දෙස නිහඬව බලා සිටින්නෙකු බවට එළුවා පත්වෙයි. 

පුරියාදා පුදිර් ( puriyadha puthir )

මේ චිත්‍රපටිය විජේ සේදුපති රංගනයෙන් එක්වූ චිත්‍රපයක් වුවත් රන්ජිත් ජෙයකොඩි නම් අධ්‍යක්ෂවරයා නවකයෙක් විය. සෑම් සී.එස්. නම් අපූරු සංගීත අධ්‍යක්ෂවරයාද තමන්ගේ දෙවැනි චිත්‍රපටිය සමඟ එක්වූ තරුණයෙක් විය. විජේ සේදුපති සහ ගයාත්‍රි යන ප්‍රධාන නළුනිළි යුවලට අමතරව අනෙක් ප්‍රධාන මැදිහත්වීම් සියල්ලම පාහේ ජනප්‍රිය නම් නොවීය. එහෙත් චිත්‍රපටිය අපූරු චිත්‍රපටියක් කුතුහලය සමඟ අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව රඳවාගැනීමට සමත්විය. 

කුරංගු බොම්මයි ( Kurangu Bommai )

සැප්තැම්බර් මාසයේදී කුරංගු බොම්මයි චිත්‍රපටිය  විධාර්ත් සහ ප්‍රවීණ අධ්‍යක්ෂ භාරදිරාජා රංගනයෙන් එක්වූ චිත්‍රපටියකි. නිතිලන් ස්වාමිනාදන් නම් නවක අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කළ මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයාව සසල කරවන්නට සමත් චිත්‍රපටියකි. සාමාන්‍ය ගැමි කතාවක් ලෙසින් ඇරඹෙන කතාව ටිකෙන් ටික ත්‍රාසජනක හෙවත් ත්‍රිලර් චිත්‍රපටියක් බවට පත්වෙයි. මුලින් හමුවන සරල චරිත ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ චරිත බවට පත්වෙයි. හැම චරිතයකටම වැදගත් හඳුන්වාදීමක් ලැබෙන අතර ප්‍රධාන චරිත කිහිපයක් පිළිබඳවම පළමු දර්ශණයෙන් ප්‍රේක්ෂකයාට ඇතිවන හැඟීම චිත්‍රපටියේ ගලායෑම සමඟ වෙනස්වෙයි. මේ චිත්‍රපටිය පුංචි කරුණුවලටත් ඉහළ අවධානයක් ලබාදෙමින් සූක්ෂමව ගොඩනැංවූ අපූරු චිත්‍රපටියකි. මේ චිත්‍රපටියෙහි කැමරා අධ්‍යක්ෂ එන්.එස්. උදයකුමාර්ද අපූරු සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබාදීමට සමත්වෙයි. 

මේ චිත්‍රපටිය සිනමා කෞතුකාගාරවලට යා යුත්තකි. අඩු වියදමින් චිත්‍රපටි නිර්මාණය කරන අන්දම කතා කරද්දී එහි ඉදිරියෙන්ම සිටින චිත්‍රපටියකි. 

අරුවි ( Aruvi )



අරුන් ප්‍රභූගේ පළමු චිත්‍රපටිය වසරේ බලාපොරොත්තු නොවූ අන්දමේ චිත්‍රපටිය බවට පත්විය. වසර අවසාන කරන්නට සුදුසුම අපූරු චිත්‍රපටිය අරුවි වෙද්දි වසරේ හොඳම චිත්‍රපටිය එය බවට බොහෝ දෙනෙකුගේ අදහස් පළවිය. කාන්තා චරිතයක් කේන්ද්‍ර කරගත් මේ චිත්‍රපටිය මේ කාන්තාව වටා අපූරුවට සමස්ථ සමාජය අල්ලාගනියි. එක් තරුණියකගේ කතාවෙන් සමාජය නිරූපණය කෙරෙන විවිධ චරිත අධ්‍යක්ෂවරයා විසින් සිනමා තිරයට ගෙන එයි. 

නවක රංගන ශිල්පිනී අදිති බාලන් සම්මාන ලබන්නට වටින රංගනයක යෙදෙන්නීය. ප්‍රවීණයැයි කියන රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට ඇය වටිනා පාඩමක් කියාදෙන්නීය. චිත්‍රපටිය වෙනුවෙන් ඇය දැවැන්ත කැපකිරීමක් කරන අතර චිත්‍රපටියේ අවසාන කොටස් රඟපෑම වෙනුවෙන් තමන්ගේ සිරුරේ පෙනුම දැවැන්ත වෙනස්කමකට ලක් කරන්නීය.
වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලබාදෙන්නට සුදුස්සා අරුවි චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂණය කළ Shelley Calist බව අපේ හැඟීමයි. අපූරුවට චිත්‍රපටිය කැමරාව තුලින් අල්ලාගන්නට ඔහු සමත්වෙයි. ජීවිතයේ සුන්දරත්වය මෙන්ම වේදනාවද පෙන්වීමට සිනමාත්මක උපක්‍රම පාවිච්චි කිරීමට කැමරාව සමත්වෙයි. සිනමාව දෙබස් හෝ රංගනයෙන් එහා ගිය නිර්මාණ කටයුත්තක් බව තේරුම් ගන්නට අරුවි චිත්‍රපටියේ කැමරාව පාවිච්චි වෙන ආකාරය උදව් වනු ඇත. 

පුංචියට සහ ගැඹුරට

මේ තරුණ නිර්මාණකරුවන් ඉන්දීය ප්‍රවීණයන්ට මෙන්ම ලංකාවේ මැසිවිලි නඟන්නන්ටද අපූරු පාඩමක් උගන්වයි. ඒ පුංචියට එහෙත් ගැඹුරට කල්පනා කරන්න යන්නයි. දැවැන්ත වියදම් දරමින් මහා චිත්‍රපටි නිර්මාණය කිරීම වෙනුවට මේ තරුණයන් පුංචි නිර්මාණ සංකීර්ණ ලෙස නිර්මාණය කළෝය.  

එපමණක් නොව මේ චිත්‍රපටි සියල්ලම සාමාන්‍ය සිනමාවේ කතාකෙරෙන මාතෘකාවල වඩා සම්පුර්ණයෙන් වෙනස් කතා රැගත් වෙනස් ආකෘති රැගත් චිත්‍රපටි විය. බොහෝවිට ඉරාන, ස්පාඤ්ඥ සිනමාවලින් ආභාෂය ලබන්නට මේ තරුණ නිර්මාණකරුවන් සමත්ව ඇති බව පෙනෙයි. නැඟී එන මලයාලම් සිනමාවෙන් ඉගෙනගත් පාඩම්ද මේ නිර්මාණකරුවන් අත්හදා බලා ඇත. ඒ සියළු පාඩම් ඉන්දීය ප්‍රේක්ෂකාගාරය ගැන කල්පනා කරමින් ඔවුන් වෙනුවෙන් පාවිච්චි කරන්නට මේ තරුණයන් සමත්ව සිටියි.

ලංකාවේ සාමාන්‍ය චිත්‍රපටියකට වියදම් කරන මුදලට වඩා අඩු මුදලක් මේ චිත්‍රපටි අතරින් කිහිපයක් සඳහාම වැය කර ඇත. ඔරු කිඩයින් කරුනයි මනු, කුරංගු බොම්මයි, මානගරම්, ලෙන්ස් වැනි චිත්‍රපටි ඒ අන්දමට අඩුම මුදලකින් නිර්මාණය කළ ඒවාය. චිත්‍රපටි සියල්ලම පාහේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට මෙන්ම සිනමාවේදියාටද එක සේ විස්මයෙන් නැරඹිය හැකි ඒවාය. ඒ සියල්ල සමඟ 2018 වර්ෂයේද අප බලාපොරොත්තු වූ දැවැන්ත නිර්මාණ වෙනුවට පුංචි නිර්මාණ සාර්ථකත්වය ලබනු ඇතැයි කල්පනා කළ හැකිය.


No comments:

Post a Comment