Sunday, February 11, 2018

වික්‍රම්ගේ ස්කෙච් බැලුවාද?





අපි වික්‍රම්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ තවත් විශ්මයජනක රංගනයක් තියෙන චිත්‍රපටියක්. රාවණන් වගෙ වැඩක්. අයි වගේ වැඩක්. ඒත් වික්‍රම් 2018 අවුරුද්දෙත් අපව හමුවෙන්න ආවේ ටිකක් වියලි මාස් හීරෝ කෙනෙක් රැගත් චිත්‍රපටියකින්. ස්කෙච් චිත්‍රපටිය පොංගල් එක්ක චිත්‍රපටි හෝල් වලට ආවේ සූර්යා රඟන විග්නේස් සිවන්ගේ චිත්‍රපටියත් එක්කයි. ඒ චිත්‍රපටිය ලොවපුරා වැඩි ආදායම් උපයද්දී වික්‍රම්ගේ චිත්‍රපටිය ඒ තරම් සාර්ථක නොවි පසුපසින් හිටියේ. 

පල්ලවි ( මලර් ටීචර් )


මේ චිත්‍රපටිය වික්‍රම් සහ සායි පල්ලවි එකට රඟපාන්න නියමිතව තිබුණු චිත්‍රපටියක්. එහෙත් සායි පල්ලවි අතරමැදදී චිත්‍රපටියෙන් හැලෙනවා. එහෙම නොවුණානම් මේ චිත්‍රපටිය මීට වඩා කතාකරන්න දෙයක් ඉතිරි කරන්න තිබුනා. සායි පල්ලවිගේ දෙමළ සිනමා ආගමනය කොහොමත් විශේෂයිනේ. පල්ලවි වෙනුවට චිත්‍රපටියට එකතුවුණේ බොහොම සුන්දර වුණත් රංගන ශිල්පිනියක් ලෙස දුර්වල වික්‍රම්ට කිසිසේත් ගැලපෙන්නේ නැති තමන්නාව. 


 වික්‍රම් රඟන චරිතය ස්කෙච්. ගරාජ් එකක හිමිකරුවෙක් වන සෙට්ට බාස්කර් ළඟ ස්කෙච් සහ ඔහුගේ මිතුරන් තිදෙනා වැඩ කරනවා. මේ හතරදෙනා වාරික ගෙවීමට නොහැකි වූ වාහන ඉස්සීමයි කරන්නේ. සීස් කරන්නෙක් හෙවත් සීසර් කෙනෙක්. දිනක් ඔවුන්ට විශේෂ වාහනයක් උස්සන්නට සිදුවෙනවා. එතැනින් පසුව මේ සිව්දෙනාගේ ජීවිතවලට භයානක අභියෝගයක් එල්ලවෙනවා. 

ඒ අතරේ ස්කෙච් සහ අම්මු අතර ආදර කතාව ගොඩනැඟෙනවා. තමන්නාගේ රංගන හැකියාවේත් පිටපතේත් අඩුපාඩු නිසා ආදර කතාවේ නම් සාම්ප්‍රදායික ගතියක් දැනෙනවා.

චිත්‍රපටිය සාමාන්‍ය මසාලා කතාවක්. හැබැයි අලුත් මසාලා සිනමාවේ නීතියක් වගේ තමයි පුපුරු ගහන සමාජ ප්‍රශ්ණයක් චිත්‍රපටියේ තේමාව යට තිබිය යුතු බව. ඒ කියන්නේ නිකන්ම මැරයෙක් හෝ පාතාල නායකයෙකුගේ සේනාවක් එක්ක හැප්පෙන වීරයෙකුගෙ කතාවක් මසාලා සිනමාවට ප්‍රමාණවත් නැහැ.  වෙනස් සමාජ ප්‍රශ්ණයක් ගැන කතාවක් තිබිය යුතුයි. මෙර්සල් වගේ චිත්‍රපටියක් සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රශ්ණ ගැන කතාකරනවා. ඒ වගෙයි. 

ඉතින් ස්කෙච් චිත්‍රපටියත් ඉතාම වෙනස් අවසානයකට අපව ගෙන එනවා. එහෙත් අපව පුදුමයට පත් කරමින් අන්තිමේ දකින්නට ලැබෙන අවසානයට අපව කලින් සූදානම් කරන්නෙ නැහැ. අවසානය එක්ක අප යම් තරමකට පුදුමයට පත් වුණත් අපට අවසානය සැක කරන්න පුංචි ඉඩක් තියලා තියෙනවා. අනෙක චිත්‍රපටියෙන් දෙන්න සූදානම් වෙච්ච ‘ආදර්ශය’ට අදාල යමක් චිත්‍රපටියේ කලින් කතාකරන්නෙ නෑ. නිකන්ම චිත්‍රපටිය ඉවරවෙලා ආදර්ශපාඨයක් දෙනවා. ඒක චිත්‍රපටියට ප්‍රමාණවත් නෑ.  

මේ පුංචි අඩුපාඩු නිසා දැවැන්ත ආදායමක් සහ ඉහළ විචාරක ගෞරවයක් දිනාගන්න තිබුනු චිත්‍රපටියක් සාමාන්‍ය ‘හොඳ’ චිත්‍රපටියක් බවට පත්වුණා. එහෙත් චිත්‍රපටියේ අධ්‍යක්ෂ විජේ චන්දර්ට මේ කතාව එක්ක තව ටිකක් ඉවසීමෙන් වැඩ කළානම් මාර ලස්සන චිත්‍රපටියක් ගොඩනංවන්න තිබුණා. 

වීරයා ලෙස වික්‍රම් තමන්ගේ කාර්යභාරය හොඳින් කරනවා. කොහොමත් වික්‍රම් රසිකයන් වික්‍රම්ගේ රංගනය බලන්න වුණත් ස්කෙච් වෙනුවෙන් සිනමාහලට යනවා. ඒත් වික්‍රම්ව පාවිච්චි කරලා තවත් ඇඟ හිරිවැටෙන වැඩක් කරන්න හොඳ අධ්‍යක්ෂවරයෙක් උත්සාහ කරන්න වටිනවා. අපි බලාගෙන ඉන්නෙ එහෙම වැඩක්. කොමර්ෂල් මසාලා වැඩක් නෙවෙයි, තලු මරමරා රසවිඳින්න පුළුවන් සිනමාත්මක වැඩක්. වික්‍රම්ගෙ එහෙම වැඩක් තමයි මාකට් වෙන්නෙ.

තමන්නා හැර අනෙක් නළුනිළි තෝරාගැනීම් ගැන සතුටුවෙන්න පුළුවන්. තමන්ට පුංචි චරිත ලැබුණත් කබාලි විශ්වාන්ත්, කල්ලූරි විනෝද් උපරිම රංගනයක් කරනවා. සූරි පුංචි කොමඩි දර්ශණ දෙක තුනකට එකතුවෙනවා. 



ශ්‍රීමන් සහ වික්‍රම් මේ චිත්‍රපටියේ යළි මිතුරන් ලෙස හමුවීම ගැනනම් හරිම ආදරණීය හැඟීමක් දැනුණෙ. සේදු චිත්‍රපටියෙදී ශ්‍රීමන් වික්‍රම්ගේ මිතුරා ලෙස අපූරු රංගනයක් කළා. ඒ චිත්‍රපටියෙන් අවුරුදු දහඅටකට පසුවයි මේ දෙදෙනා යළි මිතුරන් ලෙස රඟපාන්නේ. ඇස්වලට කඳුළු එන සිදුවීම තමයි සේදු චිත්‍රපටියේ වැඩි කොටසක් රූගත කිරිම් කළ නිවසේම ස්කෙච් චිත්‍රපටියේත් වැඩි කොටසක් රූගත කිරීම් තිබීම. එකම තැන දෙන්නා යළි හමුවෙනවා. ශ්‍රීමන් කියන්නේ කොහොමත් දෙමළ සිනමාවේ ලොකු ගෞරවයක් ලබන්න වටින හැකියාවෙන් පිරුණු රංගන ශිල්පියෙක්. වික්‍රම් සහ ශ්‍රීමන් අතර කෙමෙස්ට්‍රිය චිත්‍රපටියේ අපූරුවට වැඩ කරනවා. වික්‍රම්ගේ ආදර නාමය වන චියාන් කියන නම සේදු චිත්‍රපටියේදී වික්‍රම්ට බෞතීස්ම කරන්නෙ ශ්‍රීමන්.
එදා ශ්‍රීමන්ට මුණගැහුණේ තමන් තරම්වත් ජනප්‍රියත්වයක් නැති නවක වික්‍රම් කෙනෙක්ව. සිනමාවේ වීරයෙක් ලෙස මතුවෙන්නට අසීරුවෙන් උත්සාහ කරමින් සිටි වික්‍රම් කෙනෙක්ව. දැන් ශ්‍රීමන්ට මුණගැහෙන්නේ ඉන්දීය ජාතික සම්මාන දිනූ ප්‍රවීණ රංගන ශිල්පී වික්‍රම්ව. ‘ඒ වුණත් වික්‍රම්ගේ කිසි වෙනසක් නැහැ. ලොකුකකමක් නෑ. පරණ මනුස්සයාමයි.’ මාධ්‍යවලට ශ්‍රීමන් එසේ කියා තිබුණා.

 


අනෙක් අතට සංගීතය. එස්. තමන් කියන තරුණ සංගීත අධ්‍යක්ෂවරයා හොඳ ගිත ටිකක් නිර්මාණය කරලා තියෙනවා. 

මේක බලන්න වටින චිත්‍රපටියක්. එහෙත් අදහන්න වටින චිත්‍රපටියක් නම් නෙවෙයි. වික්‍රම්ගේ ඊළඟ චිත්‍රපටිය ගෞතම් මෙනන්ගේ නිර්මාණය. එය එනතුරු ඉවසීමෙන් අපි බලා ඉන්නවා.

No comments:

Post a Comment