Tuesday, February 27, 2018

සිනමාවට රජවරු ඇවිත් - කෝමාලි කිංග්ස්



කෝමාලි කිංග්ස් කියන ලාංකේය දෙමළ චිත්‍රපටිය බලලා එළියට බහිද්දී දැනුණු ප්‍රහර්ෂය කොහොම විස්තර කරන්නද කියලා දවස් දෙකතුනක් යනතෙක් මම කල්පනා කළා. ඉන්පස්සෙ දින කිහිපයක් ඒ ගැන නොලියාම හිටියා. අවසානයේ කිසි අදහසක් ඔළුවේ නැතිව යමක් ලියන්නට මේ විදියට ඉඳගත්තා. ඉතින්, කෝමාලි කිංග්ස් ගැනයි ලියන්න සූදානම. 


ෆිල්ම් එක බැහැලා එළියට බැහැලා 138 බස්එකට නඟින්න රීගල් එකෙන් පාරෙන් එහාපැත්තේ ඉන්න අතරේ අපි පෝස්ට් එකක් දැම්මේ ලාංකේය සිනමාවට රජුන් පහළ වී ඇත කියලා. ඔව්, කොළඹ ආශ්‍රිත දකුණට කාලෙකට පසු දෙමළුන් හැදූ දෙමළ චිත්‍රපටියක් මුණගැසීම හඳුන්වන්නට ඒක හොඳ යෙදුමක්. කිං රත්නම්ගේ කෝමාලි කිංග්ස් චිත්‍රපටියට ඒ යෙදුම කොහොමත් ගැලපෙනවා. 

රජුන්

ඔව්, අපට පිළිගන්න වෙනවා. දෙමළ ජාතිකයන් සිනමාවේදී නම් රජවරුන් වගෙයි. ඒ ඔවුන් හොඳ චිත්‍රපටි නිර්මාණය කරන නිසා විතරක් නෙවෙයි, ඔවුන්ගේ ඇඟේ සිනමාව දුවන නිසා. ඉන්දීය දෙමළ ජාතිකයන් ඒ නිසාම දැවැන්ත සිනමා කර්මාන්තයක් නිර්මාණය කරගෙන ඉන්නවා. ලංකාවේ දෙමළ ජාතිකයනුත් ඒ දැවැන්ත කර්මාන්තය විඳිනවා. ඇතැම් අය එහේ ගිහින් තමන්ගේ හැකියාව පෙන්වනවා. 

ඉන්දියානු ජනගහනයෙන් හින්දි 41% , බෙංගාලි 8.1%, තෙළිඟු 7.2, මරාති 7% විදියට ඉන්දියාවේ ජනගහනයෙන් ප්‍රතිශතයක් විදියට භාෂාවන් කතාකරන ජනතාව ඉන්නවා. ( 2001 කළ සංගණනය අනුව. මේ ප්‍රතිශතයේ වෙනස්කම් තියෙනවා. කෙසේ වෙතත් පිළිවෙලේ වෙනසක් නෑ. ) දෙමළ භාෂාව කතාකරන්නේ 5.9%ක්. ප්‍රාන්ත විදියට ගත්තාම තමිල්නාඩුව ජනගහනය අතින් හයවැනි තැන ඉන්නේ. ධනවත්කම අතිනුත් තමිල්නාඩුව හෝ දෙමළ ජනවර්ගය ඉන්නේ ඉදිරියෙන් නෙවෙයි.

ඒත් ඔවුන් ඉන්දියාවේ දෙවැනි දැවැන්තම සිනමා කර්මාන්තයට හිමිකම් කියනවා. බෙංගාලි, තෙළඟු, මරාති සිනමා කර්මාන්තයන්ට වඩා බොහෝ ඉදිරියෙන්. දැවැන්ත හින්දි සිනමාවට ළඟින් ඔවුන්ට අභියෝග කරමින් දෙමළ සිනමාව තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි, ඔවුන් රෙහ්මාන්ව බිහිකළා, ශ්‍රීදේවි බිහිකළා, ඉලයරාජා බිහිකළා, මනිරත්නම්ව බිහිකළා, එස්.පී. බාලසුබ්‍රමනියම්ව බිහිකළා. ඔවුන්ගේ සිනමාව තුළ රජ්ණිකාන්ත් මෙන්ම කමල් හසන්ද එක සේ ජනප්‍රියව සිටිනවා. ඒ විතරක්ද? ඔවුන් තමන්ගේ දේශපාලන නායකයන්ව තෝරාගන්නටත් සිනමාව වෙත යනවා. ඉතින්, සිනමාවේදී ඔවුන් රජුන්මයි. ඔවුන්ගේ ලේ වල පෝෂකයක් මෙන් සිනමාව ගමන්කරනවා. ඉතින් ලංකාවේ දෙමළ තරුණයන්ද සිනමාව සමඟ එලෙසම ගැටගැසී ඉන්නවා. බොහෝ තරුණයන් සිනමාකරුවන් වීමේ සිහිනය සමඟ නලියමින් සිටින බව මම අත්දැකීමෙන් දන්නවා. බ්‍රසීලයට පාපන්දු මෙන්, අප්‍රිකානු ඇමෙරිකානුවන්ට හිප්හොප් මෙන් දෙමළ ජනතාවට සිනමාව බද්ධ වී තියෙනවා.

එහෙත් ලංකාවෙ දෙමළ කොල්ලො කෙල්ලෝ ගැටගැහුණේ දකුණු ඉන්දියාවේ සිනමාවකට. ඔව්, ඒ සමඟ අපේ දෙමළ චිත්‍රපටි කිසිදා තරඟ නොකරනු ඇති. එහෙත් අපේ ප්‍රශ්ණ අපේ විදියට ආමන්ත්‍රණය කරන අපේම දෙමළ චිත්‍රපටිවල අවශ්‍යතාවය අපි තදින් දන්නවා. එය අපේ සිනමාව සම්පූර්ණ කරනවා. ශ්‍රී ලාංකේය සිනමාවක් ගොඩනඟනවා.

ආගමනය



කිං රත්නම් විසිනුයි  මේ චිත්‍රපටිය නිර්මාණය කළේ. ඔහු එක්ක එකතුවෙන්නේ සිංහල සහ දෙමළ නළුනිලියන් ඇතුළු ලාංකේය කාර්යමණ්ඩලයක්. මේ අතරින් බොහොදෙනෙක් නවකයන්. එහෙත් නිර්මාණය අතිසාර්ථකයි. ඇත්තටම ප්‍රවීණයි.
කොහොමවෙතත් මේක ‘ලංකාවේ’ අවුරුදු හතළිහකට පසුව ‘නිර්මාණය වෙන.’ දෙමළ චිත්‍රපටිය කියලා වරදවා වටහාගන්න ඕනෑත් නැහැ. එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී උතුරේ දෙමළ චිත්‍රපටි නිර්මාණය වුණා. තිරගත වුණා. මෙය ‘දකුණේ’ අවුරුදු හතළිහකට පසුව තිරගත වෙන ලාංකේය දෙමළ අධ්‍යක්ෂවරයෙකු විසින් නිර්මාණය කළ දෙමළ චිත්‍රපටිය. ඇත්තටම ලාංකේය සිනමාව කියන යෙදුමට ගැලපෙන්නේ සිංහල සහ දෙමළ භාෂා දෙක කතාකරන ජනතාවට සමාන ලෙස විවෘත වුණ, මේ දෙපාර්ශ්වය විසින්ම කරන නිර්මාණ තියෙන සිනමාවක්. ඉතින් මේක වසර හතළිහකට පසුව ඒ ‘අඩුව’ සම්පූර්ණ කරන චිත්‍රපටය.  

කොමඩියක්

මේක කොමඩියක්. බ්ලැක් කොමඩියක්. කිං රත්නම් සම්මුඛ සාකච්ඡාවල කියපු අපූරු කතාවක් තියෙනවා. ඒ චාලි චැප්ලින්ගේ කියමනක්. ජීවිතය දිහා අපි දුරින් බැලුවොත් කොමඩියක්. ළංව බැලුවොත් ඒක ට්‍රැජඩියක් කියලා. එතකොට හොඳ කොමඩි චිත්‍රපටියක් සියුම්ව කියෙව්වොත් අපි දකින්නේ ට්‍රැජඩියක්. ඛේදාන්තයක්. කෝමාලි කිංග්ස් අයිතිවෙන්නෙත් ඒ වර්ගයට. 
ලන්ඩන්වල සිටින දෙමළ ජාතික පවුලක්. යුද්ධයේ කලබල නිසා සරණාගත වීසා මත ලන්ඩන් ගිය පවුලක් විය යුතුයි. කොහොම වෙතත් ලන්ඩන්වල ජීවත්වීමේ අසීරු සටනේ යෙදෙන පියෙක් ඇති පවුලක්. එහෙත් එය අවබෝධ කර නොගත් තරුණ දියණියක් සහ පුතෙක්. සැමියාගේ ගැටලු ගැන දැන උන්නත් සමාජයේ ගෞරවය ලැබීම පිණිස ලන්ඩන්වල ඉහළ ජීවිතයක් ගැන මුසාබස් ලංකාවේ ඥාතීන්ට දෙසන බිරිඳක්. 

මේ පවුල ලංකාවට පැමිණෙන්නේ විවාහ උත්සවයකට. වියදම් හැකි තරම් අඩුවෙන් තියාගන්නයි පියා උත්සාහ කරන්නෙ. ඉතින් හෝටලයක වෙනුවට තමන්ගේ ඥාතියෙකුගේ ගෙදර ඔහු පවුල සමඟ නතරවෙනවා. කතාව පටන්ගන්නේ එතැනින්. ඉතිරිය ඔබම නැරඹිය යුතුයි. නැරඹීම ගැන ඔබ කිසිදා පසුතැවිලි නොවන බවට අපි සහතික වෙනවා.
පවුල් ජීවිතයේ බර, මධ්‍යම පාන්තික බොරු, රැවටීම්, සීමා කරගත් නිදහස, යන්ත්‍ර මෙන් වැඩකරන ජීවිතය කොමඩිය මැද්දේ ගලන ට්‍රැජඩියයි. 
 
සියුම් බව

කිං රත්නම්


කෝමාලි කිංග්ස් චිත්‍රපටිය සියුම් ලෙස නිර්මාණය කළ චිත්‍රපටියක්. චිත්‍රපටියක් මොනතරම් සියුම් වෙන්න ඕනෑද? ලංකාවේ වාණිජමය සිනමාවේ යෙදෙන ජනප්‍රිය සිංහල සිනමාකරුවන්ට ඒ පාඩම උගන්වන්න කෝමාලි කිංග්ස් සමත්වෙනවා. ඇත්තටම අපේ මෑතකාලීන සිංහල වාණිජ චිත්‍රපටිවලින් ප්‍රවේගය සහ මායා වැනි චිත්‍රපටි හැරුණුකොට අනෙක්වා සියුම් බවට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ පැත්ත නියෝජනය කරනවා. (කෝමාලි කිංග්ස් ස්වතන්ත්‍ර පිටපතක් මත නිර්මාණය කළත් ප්‍රවේගය සහහ මායා දෙමළ චිත්‍රපටිවල කාබන් කොපි දෙකක්. ) ඔහේ කැමරාව තබා රූගත කළ දර්ශණ, පිටපත වෙනුවට කටට එන දෙබස් ඒ චිත්‍රපටිවල දකින්න ලැබෙනවා.

එහෙත් කෝමාලි කිංග්ස් චිත්‍රපටියේ දෙබස් පවා සැලසුම් සහගතව, නිර්මාණශීලීව සකස් කළ ඒවා. ඔහේ කැමරාව තබා නිර්මාණය කළ දර්ශණ වෙනුවට චිත්‍රපටියේ කතාවට ගැලපෙන ලෙස සැලසුම් සහගතව නිර්මාණය කළ දර්ශණ දකින්න ලැබෙනවා.
මේ වෙද්දි පඳුරෙන් පඳුර සිටින ලාංකේය තරුණ සිනමාකරුවන් මේ වාණිජමය සිනමා කලාව නිරීක්ෂණය කිරීම වටිනවා. කෝමාලි කිංග්ස් බිග් බජට් චිත්‍රපටියක් නෙවෙයි. එතකොට අපේ සිනමාකරුවන්ගෙ ‘අපට සල්ලි නෑනේ’ වගේ මැසිවිලි වලට කෝමාලි කිංග්ස් උත්තරයක් වෙනවා. (ඇත්තටම ප්‍රවේගය සහ මායා පවා ඒකට උත්තරයක්.) අවශ්‍ය වෙන්නේ නිර්මාණශිලීත්වය, සැලසුම් සහගත බව සහ ඉවසීම මිස මුදල් නෙවෙයි. අපට සිනමාවේ රස සාගරයක් මවන්න පුළුවන්. දැන් අපේ රටට අත්‍යාවශ්‍ය දේවල් අතර හොඳ සිනමා සංස්කෘතියක් ඉදිරියෙන්ම ඉන්නවා. කලාව ගැන සංවේදී නැති ජාතියකට මොන අනාගතයක්ද? අනෙක අපි එකිනෙකාට අපේ සංස්කෘතිය ගැන අත්දැකීම් බෙදාගන්නට සිනමාව තරම් හොඳ මාධ්‍යයක් කොයින්ද?? 

සංස්කෘතිය

කෝමාලි කිංග්ස් ප්‍රීමියර් එක සංවිධානය කර තිබුණු අන්දමත් අපූරුයි. ඉටිපහන් දැල්වීමක් රීගල් එකේ සූදානම් කර තිබුණා. සාම්ප්‍රදායික දෙමළ බෙර සහ නළා වැයුණා. වේට්ටි ඇඳගත් දෙමළ තරුණයන් එහේමෙහේ ගමන්කළා. කොණ්ඩාවල ‘මල්ලි පූ’ පැළඳගත් සාරි හැඳි තරුණියන් පැමිණ හිටියා. ඔවුන් සංස්කෘතිය හොඳින් විඳිනවා.
එහෙත් සිංහල සංස්කෘතිය ගැන කතාකරන කලාකරුවන් පවා ඒ සංස්කෘතිය විඳින බවක් පේනවාද? ඒවා කලාවට ගෙනෙන බවක් පේනවාද? සෑහෙන ජාතිකවාදී කතා කියන කලාකරුවෙක් වන ඉරාජ් කරන්නේ මොනවද? වෙනත් ජාතිකවාදී කලාකරුවන්ගේ ජාතිකවාදය තියෙන්නෙ කොහෙද.  නිර්මාණ ඇතුලෙ අපේ අනන්‍යතාවයක් කොහෙද? ඇත්තටම දෙමළ තරුණයන් අදත් වේට්ටිය අඳින්න හේතුව ඔවුන්ගෙ සිනමාවෙ වීරයන් අදත් වේට්ටි අඳින නිසයි. අපේ අය එහෙම සිනමාවෙන් සංස්කෘතික අනන්‍යතාවයන් හැදුවාද? කෝ කලාවෙ අපේ අනන්‍යතා?

ඔව්, ලංකාවෙ සිනමාව ඇතුලෙ කසඩ රජ කතා තොගයක් නිර්මාණය වුණා තමයි. අඩු තරමේ ඒ රජකතාවල සිංහල සංගීතයක් තිබුණාද. අපට ආවේණික සංස්කෘතික වර්ණ තියෙනවාද. 

ඇත්තටම අපේ අයට සිංහල ජාතිකවාදය අවශ්‍ය වෙන්නේ රටේ ජනතාව බෙදා රණ්ඩු කරවන්නට සහ අනෙක් ජනවර්ග යටකරන්නට පමණයි. ඒවා භුක්තිවිඳින්නට හෝ රසවිඳින්නට කාටවත් වුවමනාවක් නෑ. කෝමාලි කිංග්ස් අපට උගන්වන වැදගත්ම පාඩමක් ඒක. සිංහල සංස්කෘතිය රසවිඳීමේ වැරැද්දක් නැහැ. ඒක අනුන්ට පීඩා කරන්නට පාවිච්චි නොකර.




ඔව්, චිත්‍රපටිය ගැන කතාව චිත්‍රපටියට වඩා වෙනත් දේවල් ගැන කියන්න වුණා. අපි කොලිවුඩ් සිහින තුළ කතාකරන්නට අකැමති ලාංකික දේශපාලනය ගැනත් කතා කෙරුණා. කරන්නට දෙයක් නෑ. අවංකව හිතට එන දේවල් ලියැවෙනවා. සමස්ථයක් විදියට කෝමාලි කිංග්ස් කියන්නේ විශිෂ්ඨ චිත්‍රපටියකට එහා ගිය පාඩමක්. අත්දැකීමක්. ඓතිහාසික අත්දැකීමක්.

චිත්‍රපටිය ඔබ නරඹන්නම ඕනෑ. නරඹා විඳින්නම ඕනෑ. චිත්‍රපටිය ගැන කියන්නට ඇත්තේ එය තමයි..

3 comments:

  1. ඉක්මණින්ම බලන්න ඕන. මේ වගේ චිත්‍රපටයක් කොළඹ ප්‍රදර්ශනය කරන්න පුළුවන් පසුබිමක් රටේ ගොඩනැගුණු එකත් ලොකු දෙයක්. දැන් ඉතින් මෙතනින් කොතනටද කියන එක තමයි හිතන්න ඕන.

    ReplyDelete
  2. ඉවසිල්ලක් නෑ බලනකන් අනිවාරෙන් බලනව.

    ReplyDelete
  3. ඉක්මනින් බලන්න ඕනි. ස්තුතියි ඔත්තුවට

    ReplyDelete