Tuesday, April 3, 2018

බාලාගේ නාච්චියාර්


බාලා, වික්‍රම් සහ සූර්යා


බාලා ගැන නොදන්නා දෙමළ සිනමා රසිකයන් නැති තරම්. නොදන්නා අයෙක් ඉන්නවානම් ඉක්මනින්ම ඔහු ගැන හොයලා බලන්නම ඕනෑ.

සේදු, පිදාමගන්, නන්දා, නාන් කඩවුල් වගේ චිත්‍රපටි හදපු අධ්‍යක්ෂවරයා ඔහු. මේ චිත්‍රපටි කිහිපය දෙමළ සිනමාව වෙනස්ම මාර්ගයකට ගෙන එන්නට සමත්වුණා. මේ හැම චිත්‍රපටියක්ම ඛේදාන්ත. දුකහෙි පතුලේම ඉන්න චරිත ඇසුරෙන් නිර්මාණය කරපු මේ චිත්‍රපටිවලින් වේදනාවේ කතා ගෙන ආවා.


ඔහුගේ පළවැනි චිත්‍රපටිය වුණ සේදු චිත්‍රපටිය තේරේ නාම් නමින් හින්දියෙන් නිර්මාණය වුණා. ඒ චිත්‍රපටිය නිසාම වික්‍රම් නමැති දැවැන්ත රංගන ශිල්පියාට දෙමළ සිනමාවේ නිසි ස්ථානය හිමිවුණා. පිදාමගන් චිත්‍රපටිය නිසා ඒ රංගන ශිල්පියා ඉන්දීය ජාතික සිනමා සම්මානයක් රංගනය වෙනුවෙන් ලබාගත්තා.

බාලාට තියෙන්නේ සාඩම්බර ඉතිහාසයක්. ඔහු දැනටමත් දෙමළ සිනමා ඉතිහාසයේ ගෞරවණීයම අධ්‍යක්ෂවරයෙක් වී හමාරයි. එහෙත් මෑත කාලයේදී ඔහුගේ චිත්‍රපටිවලට සිතූ තරම් ජයග්‍රහණ අත්පත් කරගන්න බැරිවුණා.

තාරයි තප්පටයි චිත්‍රපටිය මහා නරක චිත්‍රපටියක් යැයි කියන්න බැහැ. එහෙත් එය හොඳම චිත්‍රපටිය නෙවෙයි. විශේෂයෙන් බාලා කලින් නිර්මාණය කරපු චිත්‍රපටි එක්ක ගත්තාම එය අත්හැර දමන්නට සිද්ධවෙන චිත්‍රපටියක්.

බාලා ගැන මේ වගේ කල්පනා කරන්න වෙන මොහොතක තමයි 2018 මුල නාච්චියාර් චිත්‍රපටිය තිරගත වෙන්නේ. ජෝතිකා, ජී.වී. ප්‍රකාශ් කුමාර් ඇතුළු නළුනිළියන් පිරිසක් රඟපාන මේ චිත්‍රපටිය කාන්තා වීරවරියක් සහ තරුණ යුවළක් වටා ගෙතුණු චිත්‍රපටියක්.

ජෝතිකා නැවත සිනමාවට ඇවිත් ගෙවෙන තුන්වැනි අවුරුද්දයි මේ. ජෝතිකා නැවත ඇවිත් තිරගත වුණ තුන්වැනි චිත්‍රපටියයි මෙය. වසර ගණනාවකට කලින් සිනමාවේ කාන්තාව වී සිටි ජෝතිකා දැන් ඇවිත් ඉන්නේ තමන්ගේම පෞරුෂයක් සමඟ. ඇය රඟපාන්නේ චිත්‍රපටිවල ප්‍රධාන චරිත. නාච්චියාර් චිත්‍රපටියේදී ඇය කාන්තා පොලිස් නිලධාරිනියක්. එහෙත් පිරිමි පොලිස් නිලධාරීන්ට නොදෙවනි මරුමුස් පොලිස් නිලධාරිනියක්.



ජී.වී. ප්‍රකාශ් කුමාර්. රෙහ්මාන්ගේ අක්කාගේ පුතා. දැවැන්ත අනාගතයක් පෙන්වූ තරුණ සංගීත අධ්‍යක්ෂවරයා. මෑත කාලයේදී රංගනයට ඇවිත්, ඒ ක්ෂේත්‍රයේද දැවැන්ත අනාගතයක් පෙන්වූ රංගන ශිල්පියා.



ජී.වී. ප්‍රකාශ් කුමාර් මේ චිත්‍රපටියේදී රඟපාන්නේ බාල වයස්කාර පියෙකුගේ චරිතයක්. ඔහුගේ පෙම්වතියට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා. ඒ නිසා ඔහු බාල අපරාධ චෝදනා ලබා අත්අඩංගුවවට ගැනෙනවා. 




මේ තරුණ යුවළගේ ජීවිතය වටා ගෙතෙන මහා වියවුලක් විසඳන්නට අර මරුමුස් පොලිස් නිලධාරිනිය උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් ඇයට ගැටුම්වලට මැදිවෙන්නට සිදුවෙනවා. අතින් පයින් ගහගන්නට මෙන්ම, මානසික ආරවුලකටත් ඇය මුහුණදෙනවා. මේ තරුණ යුවලගේ අනාගතය ගැන සිතනවාද? තමන්ගේ රාජකාරිය නිවැරදිව කරනවාද? කියන ප්‍රශ්ණ දෙකෙන් එකක් තෝරාගන්නට ඇයට සිද්ධවෙනවා.

චිත්‍රපටිය සමස්ථයක් විදියට හොඳ එකක්. විශේෂයෙන් ජෝතිකාගේ රංගනය හොඳ මට්ටමක තියෙනවා. එහෙත් අඩුපාඩු කිහිපයක් තියෙනවා. තවමත් අපේ කොලිවුඩ් රංගන ශිල්පිනියන්ට ඇක්ෂන් සහ හිංසනයෙන් පිරුණු චරිත නිරූපණය කරද්දී අභියෝග වලට මුහුණදෙන්නට සිදුවෙනවා. හොලිවුඩය වගේ නෙවෙයි. කොලිවුඩ් නිළියන් කුඩා කාලයේ ඉඳන්ම හුරුපුරුදු වෙලා තියෙන්නේ සුමට චරිත වලටයි. ඒ නිසාම ජෝතිකා මේ චරිතයේ මාස් සිදුවීම් රඟපාද්දී අභියෝගයකට මුහුණදෙනවා. ඒ බව සියුම්ව පෙනෙන්නට තියෙනවා. ඒත් කතාව රසවිඳින්නට ඒක බාධාවක් නෙවෙයි.

බොහෝ දෙමළ චිත්‍රපටිවලට වඩා මෙය ඉදිරියෙන් සිටින බව කියන්න පුළුවන්. එහෙත් බාලාගේ උපරිමය මෙය නොවන බව පැහැදිළියි. පිදාමගන්, සේදු වගේ ඓතිහාසික චිත්‍රපටියක් නාච්චියාර් තුළින් බලාපොරොත්තු වී පලක් නැහැ. ඒත් මේක ගන්න දෙයක් නැති චිත්‍රපටියක් නෙවෙයි. එක විදියකට ගත්තොත් ඔහුගේම අවන් ඉවන් චිත්‍රපටිය වගෙයි. හොඳයි. ඒත් තවත් හොඳ වෙන්න තිබුණා වගේ හැඟීමක් චිත්‍රපටිය අවසානයේදී දැනේවි..  

හොඳ චිත්‍රපටි අනාගතයේදී බාලාගෙන් දකින්නට ලැබේවියැයි ප්‍රාර්ථනා කරගෙන මේ චිත්‍රපටිය බලන එක වටිනවා. කොහොම වුණත් සිනමාව දැන් දියුණු වෙනවා. වෙනස් වෙනවා. ගැහැණු තවදුරටත් සහාය චරිත කළ යුතු නැහැ. මේ චිත්‍රපටිය ඒ කාරණය තහවුරු කරනවා.

No comments:

Post a Comment