Sunday, April 15, 2018

මරණයට පත්වූ දෙමළ සිනමාව


ටැමිල් ෆිල්ම් රසිකයන්ට බොහොම නරක කාලයක් ගෙවෙමින් පවතින්නේ. අපේ ආදරණීය දෙමළ සිනමාව මේ වෙද්දී තමිල්නාඩු ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජනයක් පටන් අරගෙන. මේ වෙද්දී අලුත් දෙමළ චිත්‍රපටියක් තිරගත නොවුණු හත්වැනි සතියත් උදාවෙලා. 

කොලිවුඩ් සිහින අපි දවස් ගණනාවක් නිහඬව හිටියා. ඒ වැඩ රාජකාරි ගොඩක් මැද පිටුව අප්ඩේට් කරන්න නොහැකි වූ නිසා. නව අවුරුද්ද අවසානයේදී ආයේමත් අපි කොලිවුඩ් සිහින නිහඬතාවය බිඳිනවා. හැබැයි අපි නිහඬතාවය බිඳින මොහොත වෙද්දී කොලිවුඩ් සිනමාව නිහඬයි. 

මාර්තු පළවැනිදා පටන් මේ වනතෙක් දෙමළ සිනමාව අලුත් චිත්‍රපටියක් නිකුත් කරලා නැහැ. ස්ට්‍රයික් එක අවසාන වෙන දවසක් ගැනත් හරි සඳහනක් නෑ. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා 17 වැනිදා ස්ට්‍රයික් එක අවසාන වේවි කියලා. එහෙත් ඒ ගැන හරි විශ්වාසයක් නැහැ.17 වැනිදා තෙක් ඒ ගැන අනාවැකි කියන්න බෑ. 

කරු ( සායි පල්ලවි ), බාස්කර් ඔරු රාස්කල් ( අරවින්ද් සාමි, අමාලා පෝල් ) , සෙම්මා ( ජීවී ප්‍රකාශ් කුමාර් ) , කාලා ( රැජිණි, පා. රංජිත් ) , ටික් ටික් ටික් ( ජයම් රවී ), දුර්ව නච්චතිරම් ( වික්ම් )  ඇතුළු චිත්‍රපටි රැසක් තිරගත වීමට නියමිතව තියෙනවා.

ටික් ටික් ටික්




දුර්ව නච්චතිරම්


කොහොම වෙතත් මේ වෙද්දී තිරගත වීමට නියමිතව තිබුණු චිත්‍රපටි රැසක් දින නියමයක් නැතිව කල් ගිහින්. අප පුල පුලා බලා සිටි කාර්තික් සුබ්බුරාජ්ගේ මර්කරි චිත්‍රපටිය තමිල්නාඩුවේ හැර අනෙක් ප්‍රදේශවල තිරගත වෙලා. දිවාලි සහ පොංගල් මෙන්ම සිංහල අපට වගේම හින්දු සහෝදරවරුන්ටත් අප්‍රේල් 14 වැනිදාට යෙදෙන අලුත් අවුරුදු සමය දෙමළ සිනමාවේ වැදගත්ම කාලසීමාවක්. එහෙත් මේ අලුත් අවුරුද්දේ සැනසිල්ලේ චිත්‍රපටියක් නරඹන්නට ඇති අවස්ථාව දෙමළ සිනමාව රසවිඳින විවිධ ජාතීන්ට අයත් රසිකයන්ට අහිමිවෙලා.

චිත්‍රපටි පෙන්වීම පමණක් නෙවෙයි, චිත්‍රපටි රූපගත කිරීම් ඇතුළු සිනමාවට සම්බන්ධ සියළු කටයුතු මාර්තු මාසයේ සිට නවත්වලා තියෙන්නේ. ඒ නිසා මේ කාලය දෙමළ සිනමාව මරණයට පත්වූ කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්.

ඇයි?

මේ ස්ට්‍රයික් එක පටන්ගත්තේ ඇයි? පිළිතුර දැනටමත් බොහෝ දෙනෙක් දන්නවා ඇති. දෙමළ සිනමා නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය විසිනුයි වැඩවර්ජනය ප්‍රකාශයට පත් කළේ. එයට හේතුව චිත්‍රපටි සඳහා අවශ්‍ය ඩිජිටල් උපකරණවල මිල දරාගන්නට නොහැකි තරම් වැඩිවීම. ඩිජිටල් ටිකට්පත් යන්ත්‍රවල මෙන්ම චිත්‍රපටි පිටපත් කිරීම සඳහා වැයවෙන දරාගන්නට බැරි වියදම ප්‍රධාන වශයෙන් වැඩර්ජනයට හේතු වී තියෙනවා.




නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලයේ දැන් සභාපති විදියට ඉන්නේ අප ආදරය කරන රංගන ශිල්පියා විශාල්. ඔහු එක්ක මිස්කීන්, කේ.ඊ. ඥානවේල් රාජා, එස්.ආර්. ප්‍රභූ, ගෞතම් මෙනන්, මිස්කීන් සහ ප්‍රකාශ් රාජ් ඉන්නවා. මේ අය විසාල්ව තෝරාගත් මැතිවරණයේදී ඔහුට සහාය දුන් අය. ප්‍රකාශ් රාජ් සහ ගෞතම් මෙනන් මේ කවුන්සිලයේ උපසභාපතිවරුන්. භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන්නේ එස්.ආර්. ප්‍රභූ.
සංගමයේ නියෝජිතයන් දැනටමත් කර ඇති ප්‍රකාශ අනුව ටිකට් මිල අඩුකිරීම, උපකරණවල මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් රැසකට රජය සහ ඩිජිටල් උපකරණ සපයන්නන් එකඟ වනතෙක් වැඩවර්ජනය පවතිනවා. එතෙක් වැඩවර්ජනය නැවැත්වීමට අදහසක් නැති බව ඔවුන් කියනවා.

විසාල්


දැන් තත්වය

නිෂ්පාදකවරුන්ගේ සංගමය ස්ට්‍රයික් එක ප්‍රකාශයට පත් කළත්, මේ වනතෙක් ස්ට්‍රයික් එක ගෙන ගියත් සිනමාවම නියෝජනය කරන ඇතැම් පාර්ශ්වයන් මේ ස්ට්‍රයික් එක නිසා දැඩි පීඩා විඳින බවත් කියන්න ඕනෙ. විශේෂයෙන් නිෂ්පාදකවරුන් වගේ නිවාඩු ගැනීමේ හැකියාවක් නැති, එදිනෙදා ආදායම් ලබන අය. උදාහරණයක් විදියට සිනමාහල්වල යන්ත්‍ර ක්‍රියාකරන අය. දවසේ පඩියට වැඩ කරන මිනිස්සු. අනෙක් අතින් දර්ශන තලවල තේ හදන අය, වාහන එළවන අය. මේ වගේ බොහෝ සුළු රැකියා කරන පිරිසක් මහා ආර්ථික අවුලකට අලුත් අවුරුද්දේ මුහුණදෙනවා. මේ ස්ට්‍රයික් එක නිසා.
සිනමාහල් හිමියන් ලාභ ලබන කාලයක් වන මේ කාලයේදී 70% ක පාඩු පිට දුවන්නට සිනමාහල් හිමියන්ට සිදුවෙලා තියෙනවා. චිත්‍රපටි 40ක් පමණ තිරගත වීමට සූදානම් තත්වයේ තිබුණත් ඒ චිත්‍රපටි ප්‍රදර්ශණය කරන්නට නිෂ්පාදකවරුන්ගේ අදහසක් නැහැ.
ඒ නිසාම සිනමාවේ ඉන්න නිෂ්පාදකවරුන් හැර අනෙක් පාර්ශ්වයන් මේ වෙද්දී ස්ට්‍රයික් එක නතර කරන ලෙස බලපෑම් කරමින්, ඉල්ලීම් කරමින් ඉන්නවා. විශේෂයන්ම සිනමාහල් හිමිකරුවන්. 17 වැනිදා මේ පාර්ශ්වයන් අතර සාකච්ඡාවක් තියෙනවා.

ඒ සාකච්ඡාව අවසාන වෙද්දී මේ අර්බුදයට විසඳුමක් ලබාදීලා සිනමාව යළි ක්‍රියාත්මක වේවි කියලා හිතන්න පුළුවන්. එහෙම වුණොත් ඇරියස් කවර් වෙන්නත් එක්ක හොඳම ෆිල්ම් ටිකක් එක දිගට බලන්න පුළුවන්. 

කාලා

කාලා


අප්‍රේල් 27 වැනිදා සුපර්ස්ටාර් රැජිණිකාන්ත් රඟපාන කාලා චිත්‍රපටිය තිරගත වීමට නියමිතයි. ඊට කලින් මේ ස්ට්‍රයික් එක නතර නොවුණොත් භයානක ප්‍රථිපල දකින්නට ලැබේවි. ප්‍රේක්ෂකයන්ගේ සැබෑ කලබලය දකින්නට හැකිවෙනු ඇත්තේ එසේ වුණොත්. ඒ නිසා මේ ප්‍රශ්ණයේදී වගකිව යුතු හැම පාර්ශ්වයක්ම අප්‍රේල් 27ට කලින් මේ ප්‍රශ්ණය විසඳාගනු ඇතැයි හිතන්නට පුලුවන්.

මේ අර්බුදය ගැන විවිධ අය විවිධ අයට චෝදනා කරනවා. ඇතැම් අය විශාල්ට චෝදනා කරනවා. තවත් අය විශාල් සමඟ එකඟ වෙනවා. ටිකට් මිල අඩුකිරීම ප්‍රේක්ෂකයන්ට නරක ඉල්ලීමක් නෙවෙයි. කොහොම වෙතත් ඉක්මනින් මේ ප්‍රශ්ණ විසඳාගෙන ඉදිරි කාලය තුල හොඳ චිත්‍රපටි ටිකක් නරඹන්නට අවස්ථාව ලැබේවියැයි අපි බලාපොරොත්තු වෙනවා.


No comments:

Post a Comment