Tuesday, April 17, 2018

කාර්තිගේ හොඳම 10


කාර්ති ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුට දෙමළ සිනමාවේ වටිනාකමක් තියෙනවා. ඒත් ඇත්තටම ගත්තොත් කාර්තිට තමන්ගේ නියම වටිනාකම ලැබුණේ නැති බවයි අපේ අදහස. ඇත්තටම ගත්තොත් ඔහුට මේ පරම්පරාවේ පූර්වගාමීම රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් ඉන්නට අවස්ථාව ලැබෙන්නට ඕනේ. ඔහු තමන්ගේ විශිෂ්ඨත්වය ඔප්පු කරන්නට තරම් චිත්‍රපටි දැනටමත් කරලා තියෙනවා. ඔහු තවත් එක් රංගන ශිල්පියෙක් නෙවෙයි. මේ පරම්පරාවට නායකත්වය දෙන්නට සමත් දැක්මක් තියෙන රංගන ශිල්පියෙක්. ඔහු තමන්ගේ අයියා සූර්යාටත් වඩා විශිෂ්ඨ රංගන ශිල්පියෙක් කියා විටෙක හිතෙනවා.





ඔබ දැනටමත් දන්නවා ඇති. ඔහු සහ සූර්යා කියන්නේ විශිෂ්ට රංගන ශිල්පියෙක් වන සිවකුමාර්ගේ දරුවන්. කාර්තිගේ චරිත එක්ක අපට හිතෙන්නේ ඔහු රස්තියාදුකාර කොල්ලෙක් වෙන්නට ඇති කියායි. එහෙත් කාර්ති ඉංජිනේරුවෙක් ලෙස උපාධිය ලබනවා, ඊළඟට ව්‍යාපාර කළමණාකරණය ගැන උපාධියක් ලබනවා. ඉන්පසුව ඔහුට අවශ්‍ය වෙන්නේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්නටයි. ඔහු මනිරත්නම් සමඟ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස එක්වෙනවා. එහෙත් ඔහු ඉපදී ඇත්තේ රංගනයට විය යුතුයි. 2007 දී පරුතිවීරන් චිත්‍රපටියේ රංගනයට ආරාධනා ලබනවා.

මේ ලැයිස්තුව ඔහුගේ හොඳම චිත්‍රපටි 10 සොයාගන්නටයි. මේ පිළිවෙල ගැන ඔබට වෙනස්ම අදහස් තියෙන්න පුළුවන්. ඇත්තටම මේ ලැයිස්තු නිර්මාණය කිරීම පහසු නැහැ. පළවැනි චිත්‍රපටි පහම එක වගේ විශිෂ්ඨයි.


2013 තිරගත වුණා ඇලෙක්ස් පාන්ඩියන් කියන්නේ අපූරු කොමඩි චිත්‍රපටියක්. සන්තානම් රඟන කොමඩි කොටස් නැවත නැවතත් අපි ආසාවෙන් බලනවා. කාර්ති අපූරුවට කොමඩි කොටස් ඉදිරිපත් කරන්න සමත් රංගන ශිල්පියෙක්. මෑත කාලයේ ඒ හැකියාව අතින් ඔහු දෙවැනි වුණොත් දෙවැනි වෙන්නේ සිවකාර්තිකේයන්ට විතරයි. කාර්ති මේ චිත්‍රපටියේ අනුෂ්කා ශෙට්ටි සමඟයි රඟපාන්නේ.




කාර්තිගේ සිනමා ජීවිතයේ වැදගත්ම මොහොතක් තමයි මේ චිත්‍රපටිය. මනිරත්නම්ගේ රෝජා, බොම්බේ වගේ චිත්‍රපටි අතරට මේක එකතුකරන්න බැරි බව ඇත්ත. ඒත් ඒක කාර්තිගේ අඩුවක් වෙනුවට මනිරත්නම්ගේම අඩුවක් බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. මනිරත්නම්ගේ පිටපත කවදාවත් නැතිව වට්ටෝරු පිටපතක් බව මේ චිත්‍රපටියේදී දැනෙනවා. ඒත් සිනමාත්මකව වගේම රෙහ්මාන්ගේ සංගීතය නිසා චිත්‍රපටිය බලන්න වටින හොඳ චිත්‍රපටියක් බවට පත්වෙනවා. අනෙක් පැත්තෙන් කාර්තිගේ මෙතෙක් නොදුටු අපූරු පැත්තක් මේ චිත්‍රපිියේදී හමුවෙනවා. කාර්ති මනිරතනම් ලඟ සිනමා අධ්‍යක්ෂණය ඉගෙනගත්තා. දීර්ඝ කාලයක් නළුවෙක් විදියට කටයුතු කරපු කාර්ති තමන්ගේ අධ්‍යක්ෂ ගුරුවරයාව හමුවෙනවා.

මේ ලැයිස්තුවේ මෙතැනින් එහාට හමුවෙන සියළු චිත්‍රපටිවල පාහේ කාර්ති රඟපාන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ චරිත. බොහෝවිට හොරු, රස්තියාදුකාරයෝ, සෙල්ලක්කාරයෝ, මැරයෝ. වීරයන් වෙනුවට ප්‍රතිවීරයන්ගේ චරිත කාර්තිට ගැලපෙනවා. ඒත් සාමාන්‍ය තුන්වැනි පන්තියේ, එදාවේල හොයන මිනිස්සුන්ගේ චරිත තමයි කාර්ති බොහෝවිට රඟපෑවේ. ඒත් මේ කතාකරන චිත්‍රපටියේදී කාර්ති රඟපාන්නේ වෙනස්ම චරිතයක්. උසස් හමුදා නිලධාරියෙක්, ධනවතෙක්. ඉංග්‍රීසි කතාකරන මනුස්සයෙක්. ඉතින් මේ චිත්‍රපටියේ අපට හමුවෙන්නේ කාර්තිගේ වෙනම පැත්තක්.




නාගර්ජුන සහ කාර්ති එකට රඟපාන මේ චිත්‍රපටියේ කාර්තිගේ පෙම්වතිය ලෙස එක්වෙන්නේ තමන්නා. තෙළිඟු සිනමාවේ වීරයෙක් වෙච්ච නාගර්ජුනත්, දෙමළ සිනමාවේ වීරයෙක් වන කාර්තිත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපානවා. දෙමළ සහ තෙළිඟු භාෂා දෙකෙන්ම තිරගත වුණ මේ චිත්‍රපටිය සාර්ථක වුණා.

ඉතාම ධනවත්, විනයවත් මහා ධනවතෙක් වෙච්ච පුද්ගලයෙක් භයානක ආබාධයකට ලක්වෙලා. ඔහුගේ හිසට පමණයි පණ තියෙන්නේ. ( ගුසාරිෂ් චිත්‍රපටියේ රිතික් රෝෂන්ට තියෙන ආබාධය. මුළු සිරුරම අප්‍රාණිකයි. ) ඉතින් ඔහුගේ වැඩකටයුතු බලාගන්නට කෙනෙක්ව සොයනවා. වැරදීමකින් වාගේ රස්තියාදුකාර, පොලීසියේ අවධානයට ලක්වුණ අයිආර්සී පන්නයේ කොල්ලෙක්ව මේ හෙද තනතුරට පත්වෙනවා. මේ ‘වැදගත්’ ආබාධිතයා සහ ‘රස්තියාදුකාරයා’ අතර ගොඩනැඟෙන මිත්‍රත්වයයි චිත්‍රපටියේ කතාවේ එන්නේ.


වෙන්කට් ප්‍රභූ කියන්නෙ දෙමළ ෆිල්ම් අතරට අමුතු ෆිල්ම් එකතුකරපු අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ චිත්‍රපටි දිහා බොහෝදෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. වෙන්කට් ප්‍රභූ සහ කාර්ති එක්ක හංසිකා මොට්වානි මුණගැහුණු බිරියානි කියන්නේ අපූරු ෆිල්ම් එකක්. හැංග්ඕවර් චිත්‍රපටියේ ආභාෂය අරගෙන දෙමළ සිනමාවට ගැලපෙන විදියට නිර්මාණය කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ සාර්ථකත්වය නිසාම හින්දියෙනුත් ප්‍රතිනිර්මාණය වුණා.




මේ චිත්‍රපටියේ සිංදු ටික විතරක් ගත්තත් මොන තරම් සුන්දරද? කලින් මියුසික් ඩිරෙක්ටර්මයි. යුවන් ශංකර් රාජා. අපව අඬවන්නට සමත් ගීත එකතුවක් නිර්මාණය කරනවා.


මේ චිත්‍රපටිය ගැන කුමන කතාද? මසාලා චිත්‍රපටි අතර උපරිමය සලකුණු කරපු චිත්‍රපටියක්. ඔහුගේ විශිෂ්ඨත්වය තේරුම් ගන්නට කැමති කෙනෙකුට සිරුත්තායි සහ රවුඩි රාතෝර් සංසන්දනය කිරීම අපූරු අත්දැකීමක් වේවි. පැහැදිළිවම ආක්ෂේ කුමාර්ගේ රංගනයට වඩා කාර්තිගේ රංගනය අතිවිශිෂ්ඨයි. ඔහුගේ හාස්‍යමය රඟපෑම්, වීරත්වය මේ චිත්‍රපටිය අතිශය ජනප්‍රිය කරන්නට සමත්වෙනවා.




මේ තමයි කාර්තිගේ පළවැනි චිත්‍රපටිය. ඔහුගේ විශිෂ්ඨතම චිත්‍රපටියක්. ඔහුට නැවත කිසිදා කරන්නට නොහැකි වෙන විදියේ රංගනයක් මේ චිත්‍රපටියේ ඔහු ගෙනෙනවා. මේ චිත්‍රපටියේ ඔහු ඉදිරිපත් කරන්නේ කිසිම හිතක් පපුවක් නැති මැරයෙකුගේ චරිතයක්. මේ මැරයාගේ හිත දියකර හරින්නට සමත් ප්‍රේමයක් පරුතිවීරන් චිත්‍රපටියට පාදක වෙනවා.  මේක නොබලපු කෙනෙක් ඉන්නවානම් බලන්නම වටින චිත්‍රපටියක්. අපේ හිත් හිරිව්ටන්නට සමත් ගීත එකතුවක් මේ චිත්‍රපටියෙ තියෙනවා. ප්‍රියමනී කියන්නේ අතිවිශිෂ්ඨ නිළියක්.  ධනුෂ් ගැන ලියපු සටහනේදීත් අපි ඒ ගැන කීවා. ඇයත් එක්ක ඔහු ගැටගැහෙන ආදරය සුමුදු හිතක් තියෙන කෙනෙක්ව අඬවන්නට සමත් එකක්. අපි දෙමළ සිනමා රසිකයන් කියලා ඕනෑම සිනමා පොරක් එක්ක ආඩම්බරයෙන් වාද විවාද කරගන්න මොහොතක මේ චිත්‍රපටිය පෙන්වන්න පුළුවන්.




මේ චිත්‍රපටිය මෑතකදී ආපු චිත්‍රපටියක්. චිත්‍රපටිය ගැන විස්තර අපි ලියපු තවත් සටහනකින් කියවන්න පුළුවන්. සාමාන්‍ය ජනප්‍රිය දෙමළ චිත්‍රපටිවල කතා නොකරන මාතෘකාවක් මේ චිත්‍රපටියේ කතාකරනවා. පොලිස් නිලධාරීන්ව එක්කෝ එපා කරපු දූෂිත මිනිසුන් විදියටත්, නැත්නම් සියල් සපිරි වීරයන් විදියටත් හඳුන්වන සිනමාවක මුළු ජීවිතයම කැපකරපු, කිසිදා සැබෑ ගෞරවයක් නොලබන පොලිස් නිලධාරීන්ගේ සැබෑ කතාවක් චිත්‍රපටියට පාදක වෙනවා. කාට්ටු වෙයිදල් වගේ මේ චිත්‍රපටියේදීත් අපට හමුවෙන්නේ කාර්තිගේ වෙනම පැත්තක්. ඔහු සාමාන්‍යයෙන් රඟපාන්නේ නැති චරිතයක් තමයි මේ චිත්‍රපටියේදී හමුවෙන්නේ.




සෙල්වරාඝවන් ධනුෂ්ගේ අයියා බව ඇත්ත. සෙල්වරාඝවන් ධනුෂ් එක්ක කරපු චිත්‍රපටි ඔහුගේ හොඳම ඒවා බවත් ඇත්ත.  ඒත් 7ජී රේන්බෝ කොලනි හෝ සෙල්වරාඝවන් සහ කාර්ති මුුණගැසුනු ආයිරත්තිල් ඔරුවන් වගේ චිත්‍රපටි ධනුෂ් නැතිවම සෙල්වරාඝවන්ගේ විශිෂ්ඨත්වය සලකුණු කරපු චිත්‍රපටි. ආයිරත්තිල් ඔරුවන් චිත්‍රපටියත් අපට සාමාන්‍යයෙන් සිනමාවේදී විඳින්නට බැරි අපූරු අත්දැකීමක් ගෙන එනවා.



එක් පැත්තකින් ඇන්ඩ්‍රියා ජෙරමියා කියන අපූරු රංගන ශිල්පිනියව අපට හමුවෙනවා. සෙල්වරාඝවන්ටම ගැලපෙන සංගීත ශිල්පියා වන යුවන් ශංකර් රාජා අපව කුල්මත් කරවන ගීත එකතුවක් ගේනවා.





මැඩ්රාස්. මේ චිත්‍රපටිය අංක එකට එන්නට හේතු බොහොමයක් තියෙනවා. පී.ඒ. රංජිත් කියන්නේ අරුම පුදුම අධ්‍යක්ෂවරයෙක්. අනාගත සිනමාවට රවිකුමාර් කෙනෙක්. ඔහු චිත්‍රපටියක් ජනප්‍රිය කරන්නටත්, සිනමාත්මකව විශිෂ්ඨ එකක් කරන්නට සමත් යන්ත්‍ර මන්ත්‍ර ඔක්කෝම දන්නවා. ඔහුට පැහැදිළිවම ලෝක සිනමාවේ ආභාෂය තියෙනවා. ඔහුගේ වැඩ ක්ලාස්. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාගේම කාලා චිත්‍රපටිය ඉදිරියේදී එන්නට නියමිතයි. ඊට කලින් අපි මේ චිත්‍රපටිය ගැනත්, මේ අධ්‍යක්ෂවරයාගේ පළවැනි චිත්‍රපටිය ගැනත් වෙන වෙනම ලිපි දෙකක් ඉදිරිපත් කරනවා.

කාර්ති කියන්නේ සම්පතක්. ඔහුගෙන් තවත් බොහෝ දේ කළ හැකියි. සෙල්වරාඝවන්, පා රංජිත් වැනි අධ්‍යක්ෂවරුන්ට ඔහුව යළි යළිත් හමුවුණොත් අපට අපූරු දේවල් ඉදිරියටත් දැකබලාගත හැකියි.

1 comment:

  1. Thoza කියන්නේ French film එකක අමු කොපියක්

    ReplyDelete