Monday, June 18, 2018

චිට්ටි බාබු සහ රාමලක්ෂ්මි







උඹ හොඳ ෆිල්ම් එකක් හැදුවොත් මොන ඉන්ඩස්ට්‍රියෙන් ආවත් උඹට හඳ අල්ලන්න පුලුවන්. ඉන්දියාව ඇතුලෙ මේ වැදගත් පාඩම කියාදුන්න චිත්‍රපටි ගොඩක් තියෙනවා. හැබැයි ඔය පාඩම හොඳටම පත්තියං වුණේ බාහුබලී චිත්‍රපටියෙන් පස්සෙ. දකුණු ඉන්දියාවෙ වැඩිම ආදයම් ලබපු චිත්‍රපටිය. ඉන්දියාවේම වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් එකක්.

අර පාඩමම කියල දුන්න තවත් චිත්‍රපටියක් තමයි 2018 මුල ආපු රංගස්තාලන්. බාහුබලී චිත්‍රපටි දෙක හැරුණාම තුන්වැනියට වැඩිම ආදයම් ලබපු තෙළිඟු චිත්‍රපටිය. ජනප්‍රිය ලක්ෂණයි, කලාත්මක ලක්ෂණයි එකට එකතු කරලා කරපු පිස්සු හැදෙන සඳ බැබලෙන ෆිල්ම් එක. කතා දෙකක් නෑ. ෆිල්ම් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න.


අසූව දශකෙ ගමක කතාවක් තමයි රංගස්තාලන් චිත්‍රපටියෙ එන්නෙ. ඉන්දියාවෙ ගම්වල මැම්බර් වගේ ගමේ සභාපති කෙනෙක් ඡන්දයෙන් පත් කරගන්න ඕනෑ. මේ ගමේ සභාපති තනතුරට ඡන්දෙට ඉල්ලන්නවත් කෙනෙක් නෑ, අවුරුදු තිහක් තිස්සෙ එකම සභාපති කෙනෙක් ඉන්නෙ. එයාම විතරයි ඡන්දෙට එන්නෙත්. ගමටම තියෙන්නෙ එකම එක පක්ෂෙක කොඩියක් විතරයි. ගමේ සභාපතිගෙ නමවත් මිනිස්සු දන්නෙ නෑ. කතාකරන්නෙ සභාපති මහත්තයා කියලයි. ඔහු එද්දී හැමෝම අයින්වෙලා පාරේ ඉඩ දෙනවා. ඔහු ගමට රජෙක්.



සභාපති මිනිස්සුන්ගෙ අස්වැන්න හූරාකනවා. ඉතින් හැමෝම දුප්පත්. ඒත් සභාපතිට හැමෝම යටයි. සභාපතිට කට සැරෙන් කතාකරන්නවත් කෙනෙක් හිතුවොත් අබිරහස් විදියට ඒ පුද්ගලයා ඝාතනය වෙනවා.

ඔන්න ඔහොම ගමක චිට්ටි බාබු කියලා තරුණයෙක් ඉන්නවා. එයා තමයි අපේ වීරයා. හැබැයි වීරයාගෙ කණක් ඇහෙන්නෙ අඩුවෙන්.

චිට්ටි බාබු ආදරය කරන්න ගන්නෙ රාමලක්ෂ්මිට. චිට්ටි බාබුගෙ අයියා කුමාර් බාබු. රට ඉඳන් ගමට එනවා. අයියාටත් චිට්ටි බාබු හරිම ආදරෙයි. ඔන්න ඔහොමයි කතාව පටන්ගන්නෙ. ආයෙ අනුමාන කරන්න දෙයක් නෑ. කතාවෙ හොඳම හරිය එන්නෙ චිට්ටි බාබු සහ කුමාර් බාබු ගමේ සභාපතිට අභියෝග කරන්න පටන්ගත්තාට පස්සෙ.
චිට්ටි බාබුගේ චරිතය කරන්නෙ රාම් චරන්. තෙළිඟු ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේ ඉන්න හොඳම නළුවෙක්. ඒ චරිතය අපට කටඋත්තර නැතිවෙන්නම රාම්චරන් කරනවා. කෙටියෙන්ම කිව්වොත් කණක් අඩුවෙන් ඇහෙන කෙනෙක් බෙල්ල තබාගන්නා විදිය පවා අනුකරණය කරනවා. සාමාන්‍යයෙන් කණක් අඩුවෙන් ඇහෙන කෙනෙක් බෙල්ල මඳක් ඇල කරගෙන තමන්ට වැඩිපුර ඇහෙන කණ ඉස්සරහට යොමු කරගන්නවා. ඒක විද්‍යාත්මක කාරණයක්. චරන් ඒ කෑල්ල පවා අනුකරණය කරනවා. හැඟීම් මතුකරන්නට, දෙබස් කියන්නට රාම් චරන් නියම වැඩ්ඩෙක්. ඒ විතරක් නෙවෙයි. රාම්චරන්ගේ ඩාන්සින් කොටස් පවා විශිෂ්ඨයි.




මියුසික් වගේම මියුසික් එක්ක හැදෙන රූපරාමු ටිකත් විශේෂයි. එහෙත් බොහෝ කලාත්මක සිනමාකරුවො වගේ රංගස්තාලන් ඩිරෙක්ටර් ඇත්ත වගේම ගමක් නිර්මාණය කරන්නෙ නෑ. එයා ටිකක් කලර්ෆුල් විදියට මේක නිර්මාණය කරනවා. ප්‍රධාන චරිත අඳින ඇඳුම් පවා ඇත්තටම ගමකදී හමුවෙන ගැමියන්ගෙ ඇඳුම් වගේ පරණ වුණ ඇඳුම් නෙවෙයි. වෛර්ණ ඇඳුම් ඔහු අන්දවනවා. ඒ නිසා ඒක ඇත්තම ගමක් නෙවෙයි ෆැන්ටසි ගමක්. සමන්තා කරන ප්‍රධාන කාන්තා චරිතය ගත්තොත් ඇත්තටම ගමකදී මුණගැහෙන ගොවි කතක් වෙනුවට මේකප් ටිකක් තියෙන ටිකක් සුමුදු ගොවි කතක් නිර්මාණය කරනවා. චිට්ටි බාබු වුණත් කට්ට කාලා වැඩකරන ගැමි කොල්ලෙක් වුණත් ස්ටයිල් එකට රැවුල වවපු සල්ලිකාර කොල්ලෙක්ගෙ පෙනුමක් ලාවට තියෙනවා. හැබැයි මේ එකක්වත් ෆිල්ම් එක බලන්නට බාධාවක් නෙවෙයි. ෆිල්ම් එකක් කියන්නෙ ෆැන්ටසියක්.


මේ චිත්‍රපටියෙ සාමාන්‍ය ජනප්‍රිය තෙළිඟු ෆිල්ම් කලාවෙ ලක්ෂණ ගොඩක් අඩු නැතිව තියෙනවා. අයිටම් ඩාන්ස් සිංදු තියෙනවා. ඩබාන්ග් චිත්‍රපටියෙ මුන්නි වගේම ගීයක් නිර්මාණය කරලා තියෙනවා. ( හැබැයි සල්මන්ට වඩා හොඳට රාම්චරන් නටනවා. ) රංගස්තාලම් වැඩේ ඇතුලෙ ඕවර් ද ටොප් ෆයිට් තියෙනවා. ඒ කියන්නෙ ගුරුත්වාකර්ශනේ අවුල් හෙම ඉඳහිට මතුවෙනවා. ඒත් ඒවා විශ්වාස කරන්න බැරි තරම් අවුල් නෙවෙයි.

ඒත් වැඩේ තියෙන්නෙ ෆිල්ම් එකේ කතාව ඇතුලෙ. ෆිල්ම් එක එක් තැනකින් පටන් අරගෙන, හිතන්නට බැරි තැන් පහුකරගෙන අමුතු අවසානයක් කරා එනවා.
චිත්‍රපටියේ එන විහිළු දර්ශණ මාරයි. සමහර කොමඩි සීන් එකක අපි හිනාවෙන අස්සේම එකපාරම හිනාව නතර කරවනවා. ඒ ෆීලින් එක මාරයි. හැම කොමඩියක්ම වගේ මතුවෙන්නේ කුමාර් බාබුගෙ බිහිරි බව  නිසා. ඔහුට යමක් ඇහෙන්නෙ නැති වීම නිසා අපට හිනායනවා. ඒත් අපි හිනාවෙන ඒ සීන් එක ඉවරවෙන්නෙ බිහිරි බව නිසා කුමාර් බාබුට සිද්ධවෙන දුක හිතෙන දෙයකින්. ඔහුගෙ බිහිරි බවට හිනාවුණ අපට බිහිරි බවේ ඛේදවාචකය පෙන්වනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ෆිල්ම් බලලා ආබාධිතයන්ට හිනාවෙන අපව අලුත් ලෙවල් එකකට යනවා.

දුෂ්ඨ චරිතය කරන  ජගපති බාබු. මාර විදියට වැඩේ කරනවා. ඒක ටිකක් සිරුත්තායි වගෙ ෆිල්ම්වල ඉන්න ජාතියෙ ගමේ නායකයෙකුගෙ චරිතයක්. චරිතෙ හෙන සාම්ප්‍රදායිකයි. ඒත් දෙබස් කියන විදිය, සිගරට් එක බොන විදිය පවා අලුත්ම ෆීලින් එකක් අපේ ඔලුවෙ මවනවා. අපට නියම දුෂ්ඨයෙකුගෙ චරිතය මොනවගේද කියලා තහවුරු කරනවා. ඒ දුෂ්ඨකම මේ චිත්‍රපටිය මේ තරම් ලස්සන කරන්න හේතුවෙනවා.
ඊළඟ කෑල්ලෙ ෆිල්ම් එකේ අවසානය ගැන ඉඟියක් තියෙනවා. එ්ක කියෙව්වාට පස්සෙ ෆිල්ම් එක බැලුවොත් ෆිල්ම් එකේ හැබෑ රසය මිස් වෙන්න පුලුවන්. ඒ නිසා බලපු අය විතරක් ඉතිරි ටික කියවන්න.....





මේ චිත්‍රපටියෙ ගමකට සීමා වුණත් කතාකරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාවක්. කෙනෙක්ට ටිකක් ගැඹුරු දේශපාලන අර්ථයකින් වුණත් මේ චිත්‍රපටියෙ අග මුල විස්තර කරන්න පුලුවන්. උදාහරණයක් විදියට යහපාලනේ ගමුකො. රාජපක්ෂ ආණ්ඩුව අර සභාපති වගේ. මිනිස්සුන්ගෙ ගෞරවය හෙම දිනාගෙන නායක පුටුවෙ හිටියා. ඒත් මිනිස්සුන්ව තැනින් තැන පීඩාවට පත්කළා. ඒ නිසා මිනිස්සුන්ට ඕනෑවුණා ඊට වඩා හොඳ ආණ්ඩුවක්. ඒකට අනෙක් පක්ෂෙන් උදව් ගත්තා. ඒත් අනෙක් පක්ෂෙ මොකද කළේ? උං මිනිස්සුන්ට කෙළවලා දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදෙ ඔයවගේ සීන් එකක්. මිනිස්සු එක පාලකයෙකුගෙ අඩුපාඩු දැකලා විරුද්ධ වෙද්දී තව කෙනෙක් එනවා උදව් කරන්න හිතාගෙන. ඒ එන කෙනාත් එන්නෙ තමන්ට බලය ගන්න මිසක් මිනිස්සුන්ට ආදරේට නෙවෙයි. අන්තිමේ දෙවැනියට එන කෙනාත් අපට කෙළිනවා. මිනිස්සු මේ දෙපැත්තටම හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ. ඔන්න ඕක තමයි ෆිල්ම් එකේ කියන්නෙ.  

( දැනගැනීම පිණිසයි. )
කොලිවුඩ් සිහින කතාකරන්නෙ කොලිවුඩ් ෆිල්ම් ගැන. ඒත් කොලිවුඩ් බලන අපට කොලිවුඩ් අයියාගෙ මල්ලිලා තුන්දෙනාව මඟාරින්න බෑ. අයියලාගෙන් ඉගෙනගනිමින් අයියලාටත් උගන්වන කන්නඩ පුංචිම මල්ලි, ටිකක් දඟකාර තෙළිඟු මල්ලි සහ ඇල්වතුරත් නිවලා බොන මලයාලම් මල්ලි.
කොලිවුඩ් අයියා මල්ලිලා තුන්දෙනාගේම ලක්ෂණ තියෙනවා. මලයාලම් ටිකක් කලාත්මක වැඩවලට කැමතියි. තෙළිඟු ටිකක් මාස්, මෙගා, මසාලා වැඩවලට කැමතියි. ඒත් පහුගිය කාලයේදී තෙළිඟු මල්ලි කොලිවුඩ් අයියාට විතරක් නෙවෙයි, බොලිවුඩ් ලොකු මහත්තයාටත් පාඩම් ඉගැන්නුවා. බාහුබලී කියන්නෙ ඒ වගේ පාඩමක්.
අපි මෙච්චර කාලයක් කොලිවුඩ්  සිහින බ්ලොග් එකේ මලයාලම්, තෙළිඟු, කන්නඩ ගැන කතාකරලා නැතත් මෙතැන් පටන් ඒ සිනමාවන් ගැනත් කතාකරන්න හිතුවා. මොකද දැන් තාක්ෂණය දියුණු නිසා ඕනෑම රටක චිත්‍රපටියක් බලන්න අපට පුලුවන්. ඉතික් කොලිවුඩ් කියන වචනයට සීමා නොවී දකුණු ඉන්දියාවේම චිත්‍රපටි ගැන අපි කතාකරන්න ඕනෑ. රංගස්තාලම් ගැන ලීවේ ඒ හින්දා. ඉදිරියට මලයාලම්, තෙළිඟු, කන්නඩ ෆිල්ම් ගැනත් අපි කතාකරනවා. )

No comments:

Post a Comment