Tuesday, June 19, 2018

කොමඩි දාන කමල් හසන්





තමිල්නාඩුවේ මැතිවරණ අපේක්ෂකයෙක් විතරක් නෙවෙයි, දෙමළ සිනමාවේ විශ්වීය නළුවා, අධ්‍යක්ෂවරයා, තිර රචකයා, ගායකයා..... මේ ලැයිස්තුව කෙළවරක් නැතිව ඇදෙන්නට ඉඩ තියෙනවා. මේ දිග ලැයිස්තුවට එක වචනයක් දුන්නොත් කමල් හසන්. කමල් හසන්ව අපි දන්නේ ගැඹුරු රංගනයන් ගෙනාපු රංගන ශිල්පියෙක් විදියට. අනූව දශකයට කලින් නම් හොඳ රොමෑන්ටික් චිත්‍රපටිවල හිටපු ආදරවන්තයෙක් විදියට. කමල් හසන්ගේම විවිධ සිනමා පෞරුෂයන් අතරේ තියෙන ඉතාම සුවිශේෂී කමල් හසන් පෞරුෂයක් තමයි කොමඩි පිටපත් රචකයා සහ කොමඩි නළුවා කියන එක. කමල් හසන් කියන්නේ අතිවිශිෂ්ඨ කොමඩි රංගන ශිල්පියෙක්.


වඩිවෙල්, නාගේෂ්, සෙන්දිල්, සන්දානම් වගෙ කොමඩි නළුවෙක් නෙවෙයි. චැප්ලින් ලෙවල් එකේ කොමඩි නළුවෙක්. සැබෑ කොමඩි නළුවෙක්. කොමඩි චිත්‍රපටි ඇතුලේ දැවැන්ත සිනමාත්මක කතා කියන්නට සමත්වුණ කෙනෙක්. කමල් හසන්ගේ කොමඩි චිත්‍රපටි එකතුව කෙනෙක්ට යළි සිහිපත් කරගන්න පුළුවන්. මයිකල් මඩාන කාමරාජන්, තෙනාලි, වසූල් රාජා එම්.බී.බී.එස්. , පංචතන්දිරන්, අපූර්ව සගෝදරාන්ගල් වගෙ කොමඩි චිත්‍රපටි ලොට් එකක් තියෙනවා.

කමල් හසන්ට මේ කොමඩි විජ්ජාවන් කරන්නට උදව් වුණ අනෙක් චරිතය තමයි ක්‍රේසි මෝහන් කියන්නේ. මේ පිස්සු හැදෙන සඳ පිටපත් ඔක්කෝම ක්‍රේසි මෝහන් සහ කමල් හසන් ලියපුවා. මේවා අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් ඉන්නවා. හැබැයි මේ චිත්‍රපටි එකිනෙකට යා කරන නූල තමයි මේ දෙන්නා.

හ්ම්,  කියන නමෙනුත් මේවා එකිනෙකට යා වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේ දෙන්නාගේ කොමඩි චිත්‍රපටි ගොඩක ඒ නම තියෙනවා.




මේ කොමඩි චැප්ලින් ලෙවල් එකේ කොමඩි කියලා කිව්වේ ඇයි? වඩිවේල්ලාට කමල් හසන්ගේ කොමඩි සමාන නොකළේ ඇයි? අපේ පෞද්ගලික අදහස අනුවනම් ඉන්දියාවේ බිහිවුණ හොඳම කොමඩි චිත්‍රපටි ටික මේ දෙන්නාගේ කොමඩි ටික කියලා කියන්න අපට හිතෙන්නේ ඇයි?


මේ කොමඩි එකක්වත් ස්වතන්ත්‍ර පිටපත් නෙවෙයි අප දන්නා විදියට. වසූල් රාජා එම්.බී.බී.එස්. චිත්‍රපටිය හින්දි චිත්‍රපටියක් වන මුන්නාබායිි එම්.බී.බී.එස්. චිත්‍රපටිය ඇසුරෙන් නිර්මාණය වුණ එකක්. අනෙක්වා සියල්ලම පාහේ හොලිවුඩ් චිත්‍රපටි ඇසුරෙන් නිර්මාණය කළ ඒවා. හැබැයි මේ චිත්‍රපටි හැම එකක්ම පාහේ හුදු පරිවර්තන නෙවෙයි. මේ සියල්ලම දකුණු ඉන්දියාවට ගැලපෙන ලෙස යළි නිර්මාණය කරපුවා. ආයෙමත් ලියපු පිටපත්.

මේ චිත්‍රපටි සියල්ලේම හාස්‍යය උඩින් එල්ලලා නැහැ. චිත්‍රපටියේම තියෙන ලක්ෂණ වලින් හාස්‍යය මතුවෙනවා. ලිංගික විහිළු නෙවෙයි. ප්‍රධාන චරිතය හැම මනුස්සයාගෙන්ම ගුටිකෑවාම මැවෙන විහිළු නෙවෙයි. ( වඩිවේල්? )

මේ හැම චිත්‍රපටියකම විහිළු මැවෙන්නේ පිටපත ඇතුලෙන්මයි. ඒ පිටපත යම් කතාවක් කියන්නට උත්සාහ කරන සිනමාත්මක පිටපතක්.

උදාහරණයක් විදියට කාදලා කාදලා චිත්‍රපටිය ගමු. කාදලා කාදලා චිත්‍රපටිය මේ දෙන්නාගේ චිත්‍රපටි අතරින් විශිෂ්ඨතම චිත්‍රපටියක්. අපූරු ගලායෑමක් තියෙන චිත්‍රපටියක්.

කාදලා කාදලා චිත්‍රපටියේ මූලික සංකල්පය අරගෙන තමයි බොලිවුඩ්වල හවුස්ෆුල් කියලා චිත්‍රපටි මාලාවක් කළේ. ඒ සියල්ල හිනායන චිත්‍රපටි වුණත් හාස්‍යමය වියමනක් ලෙස ඒවායේ තියෙන්නේ මොනවද? බොළඳ විහිළු, සෙක්සි දර්ශණ මිසක්. ඒත් කාදලා කාදලා චිත්‍රපටිය අපව ඇදලා දාන්නේ දැවැන්ත වියමනකට.



වැලේ වැල් නැති තරුණයන් දෙන්නෙක්. දෙන්නාගෙම නම ලිංගම්. රාමලිංගම් සහ සුන්දර ලිංගම්.  අනාථයන් දෙන්නෙක්. හොඳම යාළුවෝ දෙන්නා. මේ දෙන්නා යම් තරමකට ධනවත් කෙල්ලන් දෙන්නෙක්ට ආදරය කරනවා. ඒ කෙල්ලන් දෙන්නාත් හොඳම යෙහෙළියෝ.

මේ දුප්පත් කොල්ලොන්ට කෙල්ලන්ගේ මාපියන් කැමති කරවාගන්නට ගේම් එකක් සෙල්ලම් කරන්නට සිද්ධවෙනවා. ඒ වෙනුවෙන් බංගලාවක් කුලියට අරගෙන බොරු ධනවතුන් වගේ රඟපාන්න මේ අයට සිද්ධවෙනවා. ඒත් මාමන්ඩිලාට බෑණාවරු හඳුන්වලා දෙනකොට චරිත පැටලෙනවා. මේ පැටලීම අස්සේ අලුතෙන් අලුතෙන් බොරු ගොතමින් මාපියන්ව ඇන්දීම තමයි චිත්‍රපටියේ කතාව එන්නේ.

චිත්‍රපටියක් පටන්ගනිද්දී චිත්‍රපටියේ අවසානය ගැන ප්‍රේක්ෂකයාට අනුමාන කරන්නට ඉඩ තියන්න බැහැ. හැමදේම ප්‍රේක්ෂකයා අනුමාන කරනවානම් ඒක හොඳ චිත්‍රපටියක් නෙවෙයි. සමහර චිත්‍රපටිවල කතන්දරය අපි සියළුම දෙනා දන්නවා. අපි හිතමු ඓතිහාසික චිත්‍රපටියක්, ප්‍රසිද්ධ චරිතයක් ගැන චිත්‍රපටියක්. එ් වගේ චරිතවල ඉතිහාස කතාව අපි දන්නා නිසා චිත්‍රපටිය නිර්මාණය කරන කෙනාට එන අභියෝගය තමයි මේ චිත්‍රපටිය අලුත්ම විදියට නිර්මාණය කරන්නෙ කොහොමද කියන එක.  

කාදලා කාදලා චිත්‍රපටියේ මූලික සංකල්පය ඇසුරු කරගෙන තමයි පංචතන්දිරන් චිත්‍රපටිය තැනෙන්නේත්.  ඒ චිත්‍රපටිියේත් එන්නේ පවුලේ උදවිය බොරුවෙන් ඇන්දීම ගැන. වසූල්රාජා එම්.බී.බී.එස්. චිත්‍රපටියේත් මුලින් එන්නේ මාපියන්ව ව්‍යාජ වෛද්‍යවරයෙක් විදියට ඇන්දීම ගැනයි. මේ චිත්‍රපටි තුනේම නාගේෂ් ඉන්නවා.

පෙර කීවා වගේ මේ චිත්‍රපටිවල හාස්‍යය මතුවෙන්නේ කොතැනින්ද? ඔවුන් හාස්‍යය මතු කරන්නේ චරිත ලක්ෂණ ඇතුලෙන්මයි. එකිනෙක චරිත ගොඩනැංවීමේදීම හාස්‍යය මතුවෙනවා. 



දේශපාලන පක්ෂය පිහිටවූවාට පස්සේ කමල් හසන් කීවා ඔහු තවදුරටත් චිත්‍රපටි කරන්නේ නැහැ කියලා. දේශපාලනය වෙනුවෙන් පූර්ණකාලීනව කැපවෙන බව ඔහු කිව්වා. ඒක ඔහුගේ අයිතියක්නේ. ඔහුගේ ඊළඟට තිරගත වෙන්න නියමිත විශ්වරූපම් චිත්‍රපටියෙන් පස්සේ සුභාෂ් නායිඩු නමින් කොමඩි චිත්‍රපටියක් තිරගත වෙන්න නියමිතයි. මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ දසාවතාරම් චිත්‍රපටියෙ ඉන්න සභාෂ් නායිඩු කියන සීබීඅයි නිලධාරියාගෙ චරිතය ඇසුරෙන්. චිත්‍රපටිය ලීවෙ, අධ්‍යක්ෂණය කරන්නෙ කමල් හසන්මයි. ඉතින් ඔය කියන විදියට එයා සිනමාවෙන් අයින් වුණොත් ඔහුගෙ අවසන් චිත්‍රපටිය කොමඩියක්ම වේවි.


No comments:

Post a Comment