Sunday, October 29, 2017

නොබලා බැරි තුප්පාරිවාලන්




Thupparivaalan චිත්‍රපටිය මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසයෙ තිරගත වුණේ. මේ වෙද්දී අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ චිත්‍රපටිය. ගොඩක් සාර්ථක වුණ මේ චිත්‍රපටියෙ දෙවැනි කොටසක් නිර්මාණය වෙන්න සූදානම්. විසාල් විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයත් විසාල්මයි. චිත්‍රපටිය ගැන කියන්න කලින් චිත්‍රපටියෙ අධ්‍යක්ෂක මිස්කීන් ගැන චුට්ටක් කියන්න ඕන. 




මිස්කීන් කියන්නේ පුදුමාකාර අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඉන්දියානු සිනමාවේ පමණක් නෙවෙයි, ලෝක සිනමාවේම තමන්ට ආවේණික ශෛලියක් නිර්මාණය කරගත්ත අපූරු සිනමාකරුවෙක් කියලයි අපට හිතෙන්නෙ. එක විදියකට ගත්තාම ඩේවිඩ් ලින්ච්, ටැරන්ටිනෝ වගේ බටහිර අධ්‍යක්ෂවරයෙකුගෙ සුවිශේෂි ලක්ෂණ තියෙනවා වගේ මිස්කීන්ටත් සුවිශේෂී වර්ණයක් තියෙනවා. ඒ වගේ වර්ණයක් තියෙන තවත් දෙමළ අධ්‍යක්ෂවරයෙක් විදියට පෙන්වන්න පුලුවන් බාලාව. ඔව්, මෑත කාලෙ මලයාලම් සිනමාව නව රැල්ලක් කියලා වැළඳගත්ත නව සිනමා සංස්කෘතිය එන්න අවුරුදු දොළහකට විතර කලින් ලෝ බජට් එකට මහා චිත්‍රපටි කරල පෙන්වපු බාලා තරම්ම විශේෂ අධ්‍යක්ෂවරයෙක් තමයි මිස්කීන් කියන්නෙ. 

මිස්කීන්

මනුෂ්‍යත්වයට මිස්කීන් අපූරු වර්ණ දෙනවා. සංගීතය තියුණු ලෙස පාවිච්චි කරමින්. ඔහුගෙ චිත්‍රපටි ටිකක් අධිරංගනවලින් පිරිලා. ටිකක් අඳුරට බරයි. දුක්බර සංගීතයන් තියෙනවා. ඒ සියල්ල එක්ක මිස්කීන්ගෙ චිත්‍රපටිවල මිස්කීන්ටම හිමිවුණ අනන්‍යතාවයක් තියෙනවා. 

මිස්කීන්ගෙ චිත්‍රපටියක් මුල ඉඳන් අවසාන වෙනකන් මොකක්හරි රහසක් හංගාගෙන ඉන්නවා. ඒ එක්කම මනුෂත්වයේ අඳුරු පැති මානුෂීය විදියට ඔහු මතුකරනවා. ඔහු නිර්මාණය කරන දුෂ්ඨම චරිතවලට අපි නොහිතපු විදියට ආදරය කරනවා. ඒ සියලු හේතු නිසා මේ දිනවල අපේ ප්‍රියතම දෙමළ සිනමා අධ්‍යක්ෂවරයා මිස්කීන්. අනිවාර්යයෙන්ම ළඟදීම ඔහු එක්ක කතාබහ කරන්න අපි උත්සාහ කරනවා.
විසාල් කියන්නෙ කොහොමත් අපේ ආදරය හිමිවුණ නළුවෙක්. ඔහු මෑත කාලෙ මොන්ටිසෝරි ළමයින්ට ගැලපෙන කතා තියෙන චිත්‍රපටිවල රඟපාපු බව ඇත්ත. ඒත් ඔහු පුදුම හැකියාවක් තියාගෙන ඉන්න නළුවෙක් බව පෙණුනෙ බාලාගෙ අවන් ඉවන් චිත්‍රපටියෙන්මයි.

තුප්පාරිවාලන් චිත්‍රපටිය ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටියෙන් ආභාෂය අරන් ලියපු චිත්‍රපටියක් බව මිස්කීන්ම කියනවා. හැබැයි චිත්‍රපටිය කිසිසේත්ම අමු ෂර්ලොක් හෝම්ස් කොපියක් නෙවෙයි. අනාවැකි වගේ නිරීක්ෂණ මත පිහිටලා නිගමන ඉදිරිපත් කරන පෞද්ගලික රහස් පරීක්ෂකයෙක්, රහස් පරීක්ෂකයා එක්ක ඉන්න මිත්‍රයෙක්, බේකර් වීදියේ නිවහන වගේ කාමරයක් වගේ කරුණු කිහිපයක් විතරයි ෂර්ලොක් හෝම්ස් කතාවෙන් අරන් තියෙන්නෙ. ඒ දේවල් වුණත් ලන්ඩන් ටයිප් එක වෙනුවට වෙනස් රූපයක් මවන්න මිස්කීන් සමත්වෙලා.
පුංචි බලු පැටියෙක්ම මරා දාපු සිද්ධියක් අරගෙන පුංචි ළමයෙක් එනවා. බලු පැටියාගේ සිදුවීම මහා අපරාධ රැසකට මුලක් බව රහස් පරීක්ෂකයා අඳුනගන්නවා. ඒ අපරාධ මාලාව පසුපස ඔහු යනවා.

අනෙක් පැත්තෙන් ඔහුට හමුවෙනවා පික්පොකට් ගහන තරුණියක්. ඇගේ මාමා වසවර්තියෙක්. පික්පොකට් ගැසීමත්, ලිංගික ශ්‍රමිකාවියක් ලෙස රැකියාවේ යෙදීමත් මාමා විසින් ඇයට බලහත්කාරයෙන් පවරපු දේවල්. මනුෂ්‍ය හැඟීම් යටපත් කරගෙන ඉන්න ඔහු ඇයට ආදරය කරන්න ගන්නවා.
මේ කතාවේ වැඩි විස්තර ලියන්න බැහැ. ඔබ මේ චිත්‍රපටිය නැරඹුවොත් කම්පනය වෙනවාමයි. ඔබ නැරඹිය යුතුමයි. එය පමණක් කිව යුතුයි. ඔබම චිත්‍රපටිය නැරඹිය යුතුයි. ඉන්පසුව හැකිනම් මිස්කීන්ගෙ Onaayum Aattukkuttiyum, Pisasu, Anjathe කියන මීට පෙර තිරගත වුන සුවිශේෂී චිත්‍රපටි ටිකත් නැරඹිය යුතුයි.

1 comment: