Saturday, September 23, 2017

අළුපැහැය පෙන්වන වික්‍රම්වේදා




මේ වසරේ මැද භාගයේ සිනමාහල්වල තිරගත වූ වික්‍රම් වේදා චිත්‍රපටියෙන් කතාබහ කරන්නේ අළු පැහැ මිනිසුන් ගැනයි. තනි සීමා ඉරක් හැඳ කළු සහ සුදු යනුවෙන් ඉරක් ඇඳ මිනිසුන් වෙන් කළ නොහැකිය. වික්‍රම් (ආර්. මාධවන්) පොලිස් නිලධාරියෙකි. ඔහු චෙන්නායි නගරය ආශ්‍රිතව සිටින පාතාල කණ්ඩායම් මර්ධනය වෙනුවෙන් යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායමක සාමාජිකයෙකි. එම කණ්ඩායම පාතාල සාමාජිකයන්ව කොටු කරමින් ඝාතනය කරනු ලබන අතර මරණ පරීක්ෂණවලදී පාතාල සාමාජිකයන් සමඟ ගැටුමක් ඇතිවූ නිසා වෙඩිතබන්නට සිදුවූ බව පෙන්වන්නට අවශ්‍ය ලෙස සාක්ෂි සකසයි. ආයුධයක් අතේ නැති මැරයක්ව මරා ඇතිනම් පොලීසිය සතු ආයුධයක් මැරයාගේ අතේ තබා වෙඩි තබන්නට උත්සාහ කළ බව පෙන්වයි.


වික්‍රම් සිතන්නේ තමන් කරන ක්‍රියාව නිවැරදි බවයි. පාතාලයන්ට දුටු තැන වෙඩි තැබීම යහපත් ක්‍රියාවකි. ඔහු කියන්නේ පාතාලයෙකු මැරුවාට පසුව තමන්ගේ මනසේ කිසි පසුතැවිල්ලක් ඇති නොවෙන බවයි. තමන් කිසිදු අහිංසකයෙක් මරා නැත. එහෙත් වේදා (විජේ සේදුපති) පැමිණ වික්‍රම්ට අලුත් යමක් උගන්වයි. වේදා විසින් වික්‍රම්ට මෙතෙක් නොපෙනුණු යමක් පෙන්වයි. වික්‍රම්ට අනුව නරක මිනිසුන්ගේ වෙනස් පැත්තක් මෙන්ම ඔහුට අනුව පොලීසියේ සිටින හොඳ මිනිසුන්ගේ තවත් පැත්තක් වේදා විසින් වික්‍රම්ට උගන්වයි. තමන්ම කළ දේවල් ගැන යළි කල්පනා කරන්නට සල්සවයි. ඒ සිදුවීම් පෙළ ප්‍රේක්ෂකයාගේ කුතුහලය දිගින් දිගටම අවුස්සමින් දිවෙන්නේ වික්‍රම් සහ වේදා අතර අපූරු සම්බන්ධයක් නිර්මාණය කරමින්ය.

වික්‍රම් වේදා චිත්‍රපටිය මේ වසරේ දෙමළ සිනමාවේ වැඩිම ආදායකම් උපයා ඇති චිත්‍රපටියකි. මේ වසරේ මුල් භාගයේ දෙමළ සිනමාවේ දැවැන්තම නළුවන් මෙන්ම ජනප්‍රිය තරුණ නළුවන් රංගනයෙන් එක්වන චිත්‍රපටි තිරගත වුණේ අඩුවෙනි. විජේගේ ‘බයිරවා‘ සහ විජේ සේදුපති රංගනයෙන් එක්වූ ‘කවන්‘ හැර දැවැන්තයන්ගේ සාර්ථක චිත්‍රපටි තිරගත නොවීය. සිම්බුගේ චිත්‍රපටියක් මෙන්ම කාර්ති රංගනයෙන් එක්වන මනි රත්නම් රංගනයෙන් එක්වන චිත්‍රටියක් පැමිණියත් ඒවා අසාර්ථක චිත්‍රපට ලෙස සැලකිය හැකිය.
වසරේ මුල එසේ වුණත් වසර අග වෙද්දී දෙමළ සිනමාවට වසන්තයක් උදාවීමට නියමිතය. දෙමළ ප්‍රේක්ෂකයන්ව අමන්දානානද්යට පත්කරන නිර්මාණ රැසක් පැමිණීමට නියමිතය. ජනප්‍රිය චිත්‍රපටිවල දෙවැනි කොටස් කිහිපයක්ද වෙයි. ඒ වසන්තය ඇරඹුනේ වික්‍රම් වේදා චිත්‍රපටියෙනි. ඉදිරියේදී ධනුෂ්ගේ වේලෙ ඉල්ලා පට්ටදාරී 2, රැජිණිකාන්ත්ගේ එන්දිරන් 2, කමල් හසන්ගේ විෂ්වරූපම් 2, වික්‍රම්ගේ දුර්ව නච්චතිරම්, අජිත් කුමාර්ගේ විවේගන් සහ අලුත්ම ජනප්‍රිය තරුව වන සිවකාර්තිකේයන්ගේ වේලෙයික්කාරන් වැනි චිත්‍රපටි රැසක් වසර අවසානය වෙද්දී බලාපොරොත්තු විය හැකිය. ජනප්‍රිය දෙමළ චිත්‍රපට නරඹන්නට කැමති කෙනෙකු බලාපොරොත්තු වන විනෝදය ඒවායින් සොයා යා හැකිය. එපමණක් නොව හුදු විනෝදයට එහා ගිය චිත්‍රපට නරඹන්නට කැමති අයෙකුට නරඹන්නටත් නිර්මාණ රැසක් වසරේ මුල සිට පැමිණි අතර වසර අග වෙද්දීත් කිහිපයක් පැමිණීමට නියමිතය.

නැවත වික්‍රම් වේදා චිත්‍රපටිය දෙසට හැරී ආ හැකිය. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආර්. මාධවන් හා විජේ සේදුපති විසිනි. මාධවන් වසර ගණනාවකට පසු චිත්‍රපටියකට එක්වන දෙමළ සිනමාවේ ආදරණීය චරිතයකි. ඔහු කලක් බොලිවුඩ් චිත්‍රපටිවල රංගනයෙන් එක්වූ අතර තවත් කාලයක් කිසිම චිත්‍රපටියක් නොකර සිටියේය. ව්‍යාපාරිකයෙකු නිසා ආර්ථික ප්‍රශ්ණවලට මුහුණ නොදෙන මාධවන් චිත්‍රපටි කරන්නේ ඔහුට චිත්‍රපටිය හිතට ඇල්ලුවාට පසුවයි. ඔහුගේ චිත්‍රපටියක් එන්නේ කාලයකට සැරයක් පමණි. ඒ නිසා මාධවන් සිටීමම දෙමළ රසිකයන්ගේ විශේෂ අවධානයක් දිනාදෙන්නට ප්‍රමාණවත් කාරණයකි. වසර තුනකට පමණ පසුව ඔහු 2016දී කළ පළමු නිර්මාණය වන ඉරුදි සුත්තු චිත්‍රපටියෙන්ම ෆිල්ම්ෆෙයා සම්මානය දිනාගනිමින් ඔහු තමන් කවුදැයි යළි පෙන්වා හමාරය. 

අනෙක් පැත්තෙන් විජේ සේදුපති වසරකට නිර්මාණ කිහිපයක් කරන්නේය. ඔහු බොහෝවිට නවක හා තරුණ නිර්මාණකරුවන්ගේ හොඳ නිර්මාණ තෝරාගනියි. සාපේක්ෂව අඩු මුදලක් අය කරයි. ඔහු නිර්මාණයක් කරද්දී වුව නිර්මාණය තෝරාගනිද්දීම එය හොඳ චිත්‍රපටියක් බවට සහතිකයකි. මේ දෙදෙනාම චිත්‍රපටිය තෝරාගනිද්දීම ප්‍රේක්ෂකයාට සහතිකක් ලබාදෙයි. 

චිත්‍රපටිය නරඹන්නට පෙර පූර්ව ප්‍රචාරකපටය නරඹන්නෙකුට වුව චිත්‍රපටිය නැරඹිය යුතුම බව සිතෙයි. මාධවන් සහ සේදුපති අතර විදුලියක් මෙන් දිවෙන අපූරු සහ සම්බන්ධයක් ඇති බව වටහාගන්නට පූර්ව ප්‍රචාරක පටය වුව සෑහේ. චිත්‍රපටිය පුරා වරින් වර මේ දෙදෙනා එකට හමුවෙයි. රංගන ශිල්පීන් ලෙස විටෙක සේදුපති විසින් මාධවන්ව අභිබවද්දී තවත් මොහොතක මාධවන් විසින් සේදුපතිව අභිබවයි. අවසානයේ දෙදෙනා එක් තලයකට පැමිණෙයි. 

මේ චිත්‍රපටියේ ඩුම් ඩුම් ඩුම්, අන්බේ සිවම්, මින්නල් වැනි පැරණි චිත්‍රපටිවල සිටි ලියුම්කාරියත් තරුණ කාලයේ ආදරය කළ මාධවන්ගේ ‘ක්ලැසික්‘ ස්වරූපය යළි ඉස්මතු වීම දෙමළ රසිකයන්ට අතීතකාමයක් සමඟ චිත්‍රපටිය නැරඹීමට උදව්වක් වනු ඇත. සේදුපතිගේ වේදා යන චරිතය මීට පෙර ඔරේන්ජ් මිට්ටයි සහ සූඩු කැවුම් චිත්‍රපටි දෙකේ ඔහු කළ  චරිතවලදී දකින්නට ලැබුණු සුවිශේෂී පෙනුම, ජිගර්තණ්ඩා චිත්‍රපටියේදී යන්තමින් දකින්නට ලැබුණු මැර චරිතමය ස්වභාවය මෙන්ම බාලකුමාරාහි ‘සුම්මා මූජි කුමාර්‘ වැනි කටකාරයන්ගේ චරිත පදමට මිශ්‍ර කොට ‘වේදා‘ චරිතය නිර්මාණය කර ඇත. චිත්‍රපටියේ සුන්දරම තැන මේ චරිත දෙක චිත්‍රණය කර ඇති ආකාරයයි. ඒ චරිත දෙක තිරය බෙදාගනිද්දී සියුම් ලෙස එකිනෙකට ගැටගැහෙන ආකාරයයි.
‘පොලිස්කාරයෙක් නම් නිල ඇඳුම දැම්ම ගමන් වීරයෙක් වෙනවා. අපට වීරයෝ වෙන්න මොනවහරි කරන්න වෙනව සර්.‘ වේදා වරක් එසේ කියයි. වේදා ප්‍රශ්ණ කරන්නේ පොලිස් හෝ මැරයන් කියා හොඳ නරක වෙන්කළ හැකිද කියායි. වේදා පෙන්වන්නේ තමන් කර  ඇති මිනීමැරුම් ගණන 15ක් බවත් වික්‍රම් විසින් මිනීමැරුම් 18ක් කර ඇති බවත්ය. දෙන්නාම මරා ඇත්තේ මැරයන්වය.

‘උඹලගෙන් එද්දී ලේ. අපෙන් එද්දී තක්කාලි සෝස් ද සර්?‘ වික්‍රම්ගේ හොඳම මිතුරාව ඝාතනය වීමෙන් පසුව ඔහු වේදාව සැක කරමින් කේන්ති ගනියි. එහෙත් වික්‍රම්ගේ මිත්‍රයාගේ මරණයට කලින් වේදාගේ සහෝදරයාව වික්‍රම් ඝාතනය කරයි. වික්‍රම් තමන්ගේ කේන්තිය නිවැරදි බවත් වේදාගේ සහෝදරයා මිය යා යුතු බවත් කියද්දී වේදා අනෙක් පැත්තට අසන්නේ ඒ ප්‍රශ්ණයයි. දෙදෙනා අතර  හුවමාරු වන මෙවන් දෙබස් රැසකි. ඒ සියල්ල අවසානයේ පොලීස් ඝාතන, පොලීසිය, මැරයන් මෙන්ම යුක්තිය ගැනත් අලුත් අදහසක් අපට ලැබෙයි. ඒ සිදුවීමෙන් සිදුවීමට අලුත් යමක් දකින්නට ලැබෙන විශිෂ්ඨ කතාවක් රසවිඳින අතරේය. දකුණු ඉන්දීය සිනමාවේ නව රැල්ල කොහේ තැනුණත් එහි ඵල සාර්ථකවම නෙළා ගන්නා තැන දෙමළ සිනමාව බව ඔප්පු වෙන්නේ මාධවන්, සේදුපති වැනි නළුවන් නිසාය.

No comments:

Post a Comment