Saturday, September 23, 2017

රැජිණිවත් පුදුම කරවපු මානගරම්


 
මානගරම් චිත්‍රපටිය දැකල ඒකට ආස වුණ රැජිණිකාන්ත් පවා චිත්‍රපටය ගැන වර්ණනා කරමින් දුරකථන ඇමතුමක් දුන් බව කියනවා.

චෙන්නායි නගරය නපුරුය. රෞද්‍රය. අනුකම්පා විරහිතය. එකිනෙකාට උදව් කරගන්නේ නැත. රැවටිලි සහගතය. ඒ නගරයට පැමිණෙන සියළු දෙනාද ටික කාලයක් යද්දී නගරයේ ඒ ගති ලක්ෂණවලට හුරුවෙයි. කිසිවෙක් විශ්වාස නොකරයි. මේ නගරය පිළිබඳව කතාකරන චිත්‍රපටියකි ‘මානගරම්‘ දෙමළ චිත්‍රපටිය. මේ රැවටිල්ල, අනුකම්පා විරහිත බව, අපරාධකාරීත්වය හා මුදල් තණ්හාව විසින් කුතුහලයෙන් පිරුණු සිදුවීම් මාලාවක් නිර්මාණය කරයි. චරිත කිහිපයක් එකිනෙකා හමුවෙමින්, වෙන්වෙමින් සහ එකිනෙකාට එරෙහිව මෙන්ම එක්ව සිදුවීම් මාලාවකට මුහුණදෙයි.
මේ වසරේ තිරගත වුවත් 2015 වසරේ නිර්මාණය කළ විශිෂ්ඨම නිර්මාණයක් වන මානගරම් චිත්‍රපටිය නවක සහ තරුණ නිර්මාණකරුවන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය වූ චිත්‍රපටියකි. එහි අධ්‍යක්ෂණය සහ තිරරචනය ලෝකේෂ් කනගරාජ්ගෙනි. සංගීතය ජාවෙඩ් රියාස්ගෙනි. චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් එක්වන්නේ සංගීත් ක්‍රිෂන්, ශ්‍රී සහ රෙජිනා කසන්ඩ්‍රාය. ප්‍රවීණ නළුවන් වන රාම්ඩෝස් සහ චාලි ද රංගනයෙන් එක්වෙයි. 

 



 එක් තරුණයෙක් චෙන්නායි නගරයට පැමිණෙන්නේ රැකියාවක් සඳහා සම්මුඛ සාකච්ඡාවකට යන්නටයි. ඔහු සම්මුඛ සාකච්ඡාවට යන ආයතනයේ මානව සම්බන්ධතා නිලධාරිනියව ඔහු හමුවෙයි. ඇය චිත්‍රපටියේ නමක් ඇති ප්‍රධාන චරිත දෙක අතරින් එකකි. ඇගේ නම රෙජිනාය. රෙජිනා පසුපස ප්‍රේමය ඉල්ලා තරුණයෙක් එයි. රෙජිනා ඔහුට ආදරය කරනමුත් ඔහුට ප්‍රේමය ප්‍රකාශ නොකරන්නේ රැකියාවක් සොයාගන්නා ලෙස කියමිනි. රෙජිනාට කරදර කරමින් ඇය පසුපස එන තරුණයෙකුට පහරදෙන මේ තරුණයා රාත්‍රියේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ අවන්හලකට යන්නේ මත්පැන් බොමින් ප්‍රේමය ගැන කතාකරන්නටයි. මේ අතර රෙජිනාගේ කාර්යාලයේ රැකියාව ලබන තරුණයා ඒ සතුටට තම මිතුරන් දෙදෙනෙකු සමඟ ඒ අවන්හලටම එයි. තරුණයන් දෙදෙනාම රතු පැහැ කමිස හැඳ සිටියි. ඒ අතර අවන්හල එළියේ මැරයන් තිදෙනෙක් රැක ඉන්නේ තම මිතුරෙකුට පහරදුන් රතුපැහැ කමිසයක් හැඳ සිටින තරුණයෙකුට පහරදීමටයි.  

කතාව ඇරඹෙන්නේ එලෙසයි. මැරයන් තිදෙනාට වැරදීමක් සිදුව පහරදෙන්නේ නගරයට අලුතින් පැමිණි තරුණයාටයි. ඔහුගේ සහතික ඇතුළු සියළු ලියකියවිලි තිබුණු බෑගය මැරයන් රැගෙනයයි. 

පැය හතලිස් අටක පමණ කාලයක් තුළ එකදිගට සිදුවන සිදුවීම් චිත්‍රපටයට පසුබිම වී ඇත. උඩින් කී මැරයන් තිදෙනා විසින් පාසැල් දරුවෙකු පැහැරගන්නේ කප්පම් ගැනීමටයි. එහෙත් ඔවුන් පැහැරගෙන ඇත්තේ නගරයේ ඇති දැවැන්ත පාතාල නායකයාගේ දරුවා බව තේරුම් ගනියි. මැරයන් තිදෙනා අසරණ වෙයි. දරුවා සොයන්නට පාතාල නායකයා මෝටර් රියකින් පාරේ සැරිසරයි. ඒ රාත්‍රියේම රෙජිනාට පෙම් කරන තරුණයාද රැකියාවක් සොයා යන තරුණයාද නගරයේ සැරිසරයි. සිදුවීමෙන් සිදුවීමට කුතුහලය රඳවාගනිමින් කතාව ගලායයි.

චිත්‍රපටියේ එක් චරිතයක්වත් නොවැදගත් ලෙස දැනෙන්නේ නැත. මුලින් කෙටි හැඳින්වීමක් ලබන චරිත අවසානයේ චිත්‍රපටියේ අවසානය තීරණය කරයි. මුලින් කළුයැයි පෙනෙන චරිත චිත්‍රපටිය අවසානයේ වීරයන් වෙයි. මුලින් බලවත්යැයි පෙනෙන චරිත එක්වරම පලායන බියසුල්ලන් බවට පත්වෙයි. 

චිත්‍රපටියේ එක් චරිතයක්වත් ජනප්‍රිය නළුනිළියන් විසින් ඉදිරිපත් නොකරයි. ඒ නිසා ප්‍රේක්ෂකයාට එක් චරිතයක් පසුපස සිටගන්නට සිදුවෙන්නේ නැත. 

දකුණු ඉන්දීය සිනමාව මේ වනවිට නිර්මාණශීලීත්වය අතින් ලොව අන් කිසිදු සිනමාවකට නොදෙවනි තැනකට පත්ව ඇත. නරඹන්නන් මුව අයවන කතා නිර්මාණය කරන්නට තරුණ ඉන්දීය සිනමාකරුවන් සමත්ව ඇත. මේ තරුණයන්ගේ සිනමාව අඩු වියදමින් කරන නිර්මාණවලින් සමන්විතව තිබුණත් නිර්මාණශීලීත්වය අතින් ඉතා පොහොසත්ය. තමිල්නාඩුවේ තරුණ නාගරික ප්‍රේක්ෂකයන් මේ වෙද්දී මසාලා සිනමාවට අමතරව මේ නව සිනමාවද රසවිඳින්නට ප්‍රිය කරයි. මානගරම් චිත්‍රපටිය ඉහත කී පසුබිමේ බිහිවූ නිර්මාණයකි. අඩු වියදමකින් කළ මුව අයවන අන්දමේ නිර්මාණයකි. විශිෂ්ඨ තිරපිටපතක් ඇත්නම් චිත්‍රපටයක් කරන්නට මුදල් බාධාවක් නොවන බව පෙන්වන කදිම සාක්ෂියකි.

No comments:

Post a Comment