Saturday, September 23, 2017

වේලෙයි ඉල්ලා පට්ටදාරී 2





ධනුෂ් රංගනයෙන් එක්වන වේලෙයි ඉල්ලා පට්දාරී පළමු චිත්‍රපටිය (2014) බොහෝ දෙනෙක් නරඹා ඇතුවාට සැක නැත. දෙමළ තාරුණ්‍යයට විශාල බලපෑමක් කළ නිර්මාණයකි එය. ඉංජිනේරු උපාධියක් ලබා රැකියා විරහිතව සම්මුඛ සාකච්ඡාවලට යෑම රැකියාවක් කරගත් දහස් ගණනක් ඉන්දීය තරුණයන්ව ආමන්ත්‍රණය කරන්නට වේලෙයි ඉල්ලා පට්ටදාරී චිත්‍රපටය සමත් විය. වේලෙයි ඉල්ලා පට්ටදාරී යන්නෙහි තේරුම රැකියා විරහිත උපාධිදාරියා යන්නයි. කෙටියෙන් එය වී.අයි.පී. විය. 



වීඅයිපී චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය වෙන්නේ පළමු චිත්‍රපටියට ලැබුණු අතිසාර්ථක ප්‍රතිචාර නිසාය. පළමු චිත්‍රපටිය තිරරචනය, අධ්‍යක්ෂණය වේල්රාජ්ගෙනි. දෙවැනි චිත්‍රපටියේ අධ්‍යක්ෂණය ධනුෂ්ගේ බිරිඳ ඓශ්චර්යා රැජිණිකාන්ත්ගේ සහෝදරිය සහ සුපර්ස්ටාර් රැජිණිකාන්ත්ගේ දියණිය වන සෞන්දර්යා රැජිණිකාන්ත්ගෙන්ය. තිරරචනය ධනුෂ්ගෙනි. දෙමළ සිනමාවට නව අරුත් ගෙනදුන් ධනුෂ්ලාගේ මිතුරු කාණ්ඩයේ තවත් මිතුරෙක් වන වේල්රාජ් පොලදාවන්, ත්‍රී, ආදුකාලම් වැනි චිත්‍රපටි රැසක කැමරා අධ්‍යක්ෂවරයාය. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වීඅයිපී පළමු චිත්‍රපටය වෙයි.



වීඅයිපීහි තේමාව සරලය. රැකියා විරහිතව ගෙදරට වී සිටින තරුණයෙකි. ඔහුට ඇත්තේ වීරයන්ගේ නමක් නොවේ. රඝුවරන් නම් දුෂ්ඨයෙකුගේ නමකි. තරුණයාගේ මල්ලී රැකියාවක් කරයි. ඒ නිසා පියාගේ බැණුම් රඝුවරන්ටය. කාලකණ්නි රස්තියාදුකාරයෙක් ලෙස රඝුවරන් බැණුම් අසයි. ඔය අතරේ රඝුවරන්ගේ අතින් සිදුවන වරදක් නිසා ඔහුගේ මව මියයයි. පියා මෙන්ම මල්ලීද රඝුවරන්ට චෝදනා කරයි. ඔය අතරේ රඝුවරන්ට රැකියාවක් ලැබෙයි. අසීරුවෙන් ගත් රැකියාව නැති කරන්නට බොහෝදෙනෙක් උත්සාහ කරයි. එයට පිළිතුරු ලෙස රඝුවරන් සමාජ මාධ්‍ය හරහා වේලෙයි ඉල්ලා පට්ටදාරී හෙවත් වීඅයිපී නම් මිතුරු ජාලයක් අරඹා රැකියා විරහිත ඉංජිනේරු උපාධිදාරීන් එකතු කරගනිමින් අභියෝගයට සාර්ථකව මුහුණදෙයි. පියා සහ මල්ලී මිතුරුවෙයි. පෙම්වතිය සමඟ විවාහ වෙයි. වීඅයිපී දෙක ඇරඹන්නේ මෙසේ අසීරුවෙන් දිනාගත් පෙම්වතිය, රැකියාව සහ පවුල තවත් අභියෝග රැසකට මුහුණදෙන අයුරු පෙන්වන්නටය. 

චිත්‍රපටය සුවිශේෂී වෙන්නට පළමු හේතුව රඝුවරන්ගේ එදිරිවාදියා ලෙස දෙවැනි චිත්‍රපටියේ රංගනයෙන් එක්වෙන්නේ බොලිවුඩ් නිළි කාජල් වීමයි.
කාජල් ඉදිරිපත් කරන්නේ රඝුවරන්ගේ අලුත් අභියෝගය වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තම ඉන්දීය සමාගම වන වසුන්දරා කන්ස්ට්‍රක්ෂන්හි හිමිකරු වසුන්දරාගේ චරිතයයි. ඇය ධනවත් කතකි. බලවත් කතකි. රඝුවරන් ඉදිකිරීම් පිළිබඳ සම්මාන උළෙලකදී හොඳම ඉංජිනේරුවරයා ලෙස සම්මානය දිනාගත් පසුව වසුන්දරා රඝුවරන්ට ආරාධනා කරන්නේ වසුන්දරා කන්ස්ට්‍රක්ෂන්හි සේවයට බැඳෙන ලෙසයි. එහෙත් ධනුෂ් එය ප්‍රතික්ෂේප කරන අතර එය වසුන්දරා බාරගන්නේ තමන්ගේ දැවැන්තබවට එල්ලකළ පහරක් ලෙසයි. වසුන්දරා රඝුවරන් බාරගන්නා සියළු වැඩ අසාර්ථක කරවද්දී රඝුවරන් තමන් සේවය කරන ආයතනයේ රැකියාවෙන් ඉවත්වෙයි. ටික කාලයක් යළි රැකියා විරහිතයෙක් බවට පත්වන ඔහු තමන්ගේම සමාගමක් අරඹයි. එහෙත් වසුන්දරාගේ දඩයම නතර නොවෙයි.

රඝුවරන්ගේ සහ වසුන්දරාගේ ආඩම්බරය මැද චිත්‍රපටියේ රසවත් සිදුවීම් මතුවෙයි. එක්දිනෙක රඝුවරන් සහ වසුන්දරා එකම ගොඩනැඟිල්ලක රැයක තනිවෙයි. සියල්ල වෙනස්වෙයි. 

විවේක්, සමුතිරාකනි, අමාලා පෝල් වැනි වේලෙයි ඉල්ලා පට්ටදාරී පළමු චිත්‍රපටියේ රංගනයෙන් එක්වූ නළු නිළියන් මේ චිත්‍රපටියේත් රංගනයෙන් එක්වන අතර පළමු චිත්‍රපටියේදී මියගිය මවගේ චරිතය කළ සාරණ්‍යාද සුළු චරිතයකින් එක්වෙයි. පළමු චිත්‍රපටියේ සංගීතය කළ අනිරුද්හ් වෙනුවට මෙවර චිත්‍රපටියේ සංගීතය කරන්නේ ධනුෂ්ගේ මැදිහත්වීමෙන් දෙමළ සිනමාව විසින් හඳුනාගත් තරුණ නිර්මාණකරුවා වන ෂෝන් රෝල්ඩන්ය. 

සුපුරුදු ලෙස ධනුෂ් තමන්ගේ හැකියාව යළි පෙන්වයි. ඔහු පසුබිම් ගායකයෙකු, නිෂ්පාදක, තිර රචකයා, රංගන ශිල්පියා, සටන් නළුවා යන ක්ෂේත්‍ර කිහිපයක්ම ආවරණය කරයි. 

චිත්‍රපටිය නර්තන පසුබිම් නිර්මාණය මෙන්ම අවසානය අතින්ද සාමාන්‍ය දෙමළ චිත්‍රපටිවලින් වෙනස් වෙයි. අවසානය සටන්වලින් පිරි, දුෂ්ඨයාව පරාජය කරන අන්දමේ එක්ක නොවෙයි. එමෙන්ම ප්‍රධාන චරිතය සියල්ල දත් වීරයෙකු නොව, වැරදි කරන සාමාන්‍ය මිනිසෙකු ලෙස චිත්‍රණය කරයි. හැඟීම්බර දෙබස් හැඟීම්බර ලෙස නොව තාත්විකව ඉදිරිපත් කරයි. පිටපත අතිශයින් ප්‍රබලය. දෙබස් ආකර්ශණීයය. නිසි අයුරින් හාස්‍යය, සංවේදීබව, වීරත්වය අඩු වැඩි පමණට නිසි අයුරින් යොදා වීඅයිපී දෙක නිර්මාණය වී ඇත. ඒ අතින් පළමු චිත්‍රපටියට වඩා තාත්වික සහ සාර්ථක ලෙස දෙවැන්න නිර්මාණය වී ඇතැයි කිව හැකිය.

ධනුෂ් ‘රන්ජානා‘ හින්දි චිත්‍රපටයෙන් බොලිවුඩ් ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ නැඟී එන නළුවා සම්මානය දිනාගැනීමත්, ඉන්පසුව අමිතාබ් බච්චන් සමඟ ‘ෂමිතාබ්‘ චිත්‍රපටය කිරීමත් නිසා උතුරු ඉන්දියාවේද ජනප්‍රියත්වයක් හිමිකරගත් නළුවෙකි. ඒ නිසා උතුරු ඉන්දීය වෙළඳපොල ඔහුගේ ඉලක්කයක් වී ඇති අතර නිර්මාණවලදී හින්දි බසින්ද සම නිෂ්පාදන කරන්නට මෑත කාලයේ ඔහු පෙළැඹුණේය.

 ‘කොඩි‘ චිත්‍රපටිය උතුරු ඉන්දියාවත් ඉලක්ක කරමින් නිෂ්පාදනය කරන්නට ඔහු බලාපොරොත්තු විය. ඒ නිසා බොලිවුඩයේ විද්‍යා බාලන්ව කොඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා එකතු කරගැනීමට ඔහු උත්සාහ කළේය. එහෙත් ඇයගේ දින ලබාගැනීම අපහසු වූ අතර හින්දි නිළියන් කිහිපදෙනෙකුම ලබාගන්නට කළ උත්සාහයන් අසාර්ථක වී උතුරු ඉන්දියාවේ රසිකයන් යම් පමණකට හඳුනන කොලිවුඩ් නිළි ත්‍රිෂාව ධනුෂ් නිර්මාණයට එක් කරගත්තේය. ‘කොඩි‘ අවසානවීමෙන් පසුව ‘වේලෙයි ඉල්ලා පට්ටදාරී‘ නම් ඔහුගේම  ජනප්‍රිය නිර්මාණයේ දෙවැනි කොටස රූපගත කිරීම ඔහු අරඹද්දී පෙර උත්සාහයන්හි ප්‍රථිපලයක් ලෙස කාජල්ගේ දින ලබාගැනීම ඔහුට හැකිවිය. ඉලක්කය උතුරු ඉන්දීය වෙළඳපොලයි. එහි ප්‍රථිපලය අපූරු සිනමා සුසංයෝගයක් දැකබලාගැනීමට සමස්ථ සිනමා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබීමයි.

No comments:

Post a Comment