Saturday, June 23, 2018

මර්කරි දෙමළ චිත්‍රපටිය

සිය මුල් චිත්‍රපට 3න්ම සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනගා ගනිමින්, ප්‍රබල සිනමාකරණයකින් යුතුව, ප්‍රේක්ෂකයන්ට අමතක නොවන සිනමා අත්දැකීම් ලබාදුන් නව පරපුරේ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ කාර්තික් සුබ්බුරාජ්ගේ 4වන සිනමා නිර්මාණය. මෙවරත් ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ඔහු නිර්මාණය කරඇත්තේ දෙබස් වලින් තොර චිත්‍රපටයක්. භීෂණාත්මක(Horror) චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය වී ඇති මෙය ඔහුගේ පළමු චිත්‍රපටය වූ Pizza මෙන් Horror වේශයෙන් ආ drama නොව චිත්‍රපටයක් නොව සැබෑවටම Horror චිත්‍රපටයක්.



කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැරුණු රසදිය හේතුවෙන් කථාකිරීමේ හැකියාව අහිමිව, එකම කථන ආබාධ සහිත ළමුන් සඳහාවූ පාසලක ඉගෙනගත් තරුණයන් 4 දෙනෙක් හා තරුණියක් කලකට පසු හමුවී රාත්‍රියක සාදයක් පවත්වා විනෝද වෙනවා. එදා රෑ වාහනයක නැගී අරමුණක් නැතිව ගමන් කරන ඔවුන් අතර කෙරෙන දඟකාරකමක් කෙළවර වෙන්නේ ලේ වැකුණු මළ සිරුරක් හමුවී, ඉන් අනතුරුව ඔවුන් 5 දෙනාම මාරාන්තික භීෂණයකට ගොදුරුවීමෙන්.
මෙවැනි දෙබස් රහිත චිත්‍රපටයක ප්‍රේක්ෂක අවධානය ගිලිහී නොයා පවත්වා ගැනීමට පසුබිම් සංගීතය ඉතාම වැදගත්. මෙහිදී වර්තමාන දෙමළ සිනමාවේ සිටින දක්ෂතම සංගීත අධ්‍යක්ෂවරුන් කීපදෙනාගෙන් කෙනෙකු වන සන්තෝෂ් නාරායනන් තම වගකීම මැනවින් ඉටුකර තියනවා. ජාතික සම්මානලාභී කැමරා අධ්‍යක්ෂවරයකු වන තිරුද මේ චිත්‍රපටය අමතක නොවන සිනමා අත්දැකීමක් බවට පත්කිරීමට තම දායකත්වය ලබාදී තියනවා. සීතල කඳුකර ප්‍රදේශයක ස්වභාවික සුන්දරත්වය සමගින් ආරම්භවන චිත්‍රපටය පසුව පසුව අතහැර දැමූ කර්මාන්ත ශාලාවක් තුල ගොඩනැගෙන භීෂණාත්මක සිදුවීම් මාලාව දක්වා යන සිදුවීම් පෙළ සිනමාත්මක සෞන්දර්යයෙන් යුතුව කැමරාවට හසුකර ගැනීමට ඔහු දක්වන සමත්කම මේ චිත්‍රපටය ප්‍රේක්ෂක සිත් තුලින් ගිලිහී නොයන අත්දැකීමක් බවට පත්කිරීමට හේතුවෙනවා.
අවතාරය ලෙසින් රඟපාන ප්‍රභූදේවාත්, කථනාබාධිත තරුණයන් 4දෙනා සහ තරුණිය ලෙස පිලිවෙලින් රඟපාන සනන්ත් රෙඩ්ඩි, දීපක් පරමේශ්, ශශංක් පුරුෂෝත්තම්, අනිෂ් පද්මනාභන් සහ ඉන්දුජාත් දෙබස් වලින් තොරව මනාව තම චරිත වලට අවතීර්ණව අමතක නොවන රංගනයක යෙදෙනවා.
කෙසේවෙතත් Mercury කාර්තික් සුබ්බුරාජ්ගේ සිනමා ගමන් මගේ ඉදිරි පියවරක් වශයෙන් සැලකීමට නම් අපහසුයි. සමාගම් අනතුරු ව්‍යසන (corporate disasters) පිළිබඳ කතිකාවක්ද ,මෙයට ඇතුලත් කිරීමට උත්සාහයක් ගෙන තිබුණත් එය චිත්‍රපටය තුලින් හරි හැටි මතුවෙන්නේ නෑ. මේ නිසා සම්ප්‍රදායික Horror චිත්‍රපටයකින් එහාට නොයන බවකුයි මෙහි දකින්නට තියෙන්නේ.
එහෙම වුණත් මෙය ප්‍රේක්ෂකයන්ට අමතක නොවන සිනමා ආශ්වාදයක් ලබාදෙන චිත්‍රපටයක් බව නැවතත් අවධාරණය කළයුතුයි. කථා කිරීමට නොහැකි 5 දෙනෙක්, ඇස් නොපෙනෙන බිහිසුණු අවතාරයකින් ගැලවීමට දරන උත්සාහයම මෙය අපූරු thriller අත්දැකීමක් බවට පත් කිරීමට සමත්. 2018 වසරේ දෙමළ චිත්‍රපට අතර නැරඹීමට වටින චිත්‍රපටවලින් එකක් ලෙස Mercury නිසැකවම නම් කළ හැකියි.

- Wojith Karunanayake

No comments:

Post a Comment