Monday, June 25, 2018

පුලි සහ බහුබලී


පුලි චිත්‍රපටිය ඉලයතලපති විජේ රඟපාපු චිත්‍රපටියක්. හොඳ මියුසික් තිබුණා. හොඳ නළුනිළියන් කණ්ඩායමක් හිටියා. ඒත් චිත්‍රපටිය අපේ හිත්වල තදින් රැඳෙන විදියේ එකක් නෙවෙයි. මේක දැවැන්ත ඓතිහාසික චිත්‍රපටියක්. ප්‍රබන්ධමය රාජධානියක වීරයෙක් වටා ගෙතුණු කතාවක්. ඔටුන්න හිමි කුමරෙක් සාමාන්‍ය ගම්මානයක සැඟවී ඉන්නවා. තමන්ගේ පෙම්වතිය සොයාගෙන ඔහු තරුණ කාලයේදී වීර චාරිකාවක් යනවා. ඒ චාරිකාව අවසාන වෙන්නේ තමන්ගේ ඉතිහාසය ගැන ඔහු දැනගැනීමෙන් පසුව.



හුරුපුරුදු කතාවක් වගෙයි. ඔව්, බාහුබලී චිත්‍රපටියත් මේ මූලික සංකල්පය වටා ගෙතුණු එකක්. බාහුබලී අතිසාර්ථක වෙද්දී පුලි තවත් එක් චිත්‍රපටියක් පමණක් වුණේ ඇයි? මේක විජේගේ අඩුවක්ද? අවුල මොකක්ද?

බාහුබලී පිටපත ලීවේ එස්.එස්. රාජ්මෞලි විසින්. පැහැදිළිවම ඔහු හොලිවුඩ් චිත්‍රපටි සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වැනි කතාමාලා වලින් ආභාෂය අරගෙනයි මේ පිටපත ලියා ඇත්තේ. ඒ වගේම රාජ්මෞලි පැහැදිළිවම මේ චිත්‍රපටිය කොටස් දෙකකට සැලසුම් කළා. එක් එක් චිත්‍රපටියේදී කිවයුතු දේවල් පැහැදිළිවම තීරණය කළා.

බාහුබලී චිත්‍රපටිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් හෝ ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ චිත්‍රපටි සමඟ සමාන කරන්නට අපි උත්සාහ කරන්නේ නැහැ. ඇත්තටම බාහුබලී චිත්‍රපටියත් තව දියුණු විය යුතුයි. ඊටත් වඩා එහා ගිය ඓතිහාසික චිත්‍රපටි නිර්මාණය කළ හැකියි. බාහුබලී චිත්‍රපටියේත් අඩුවක් තියෙනවානම් ඒ පිටපතේ අඩුවම තමයි. එහෙම වුණත් බාහුබලී පිටපත පුලි චිත්‍රපටිය සමඟ සැසඳුවොත් ගව් සියගණනක් ඉදිරියෙන් ඉන්නවා.
බාහුබලී චිත්‍රපටියේ චරිත විනාඩියෙන් නිර්මාණය කළ ඒවා නෙවෙයි. ඒ චරිත පසුපස දවස් ගණනාවක මහන්සිය තියෙන බව පෙනෙනවා.

එහෙත් පුලි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ චිම්බු දේවන්ට අවශ්‍ය වුනේ ඉන්ස්ටන්ට් නූඩල්ස් වගේ ඓතිහාසික චිත්‍රපටියක් නිර්මාණය කරන්නටයි. ඔහු ඒ වෙද්දී ජනප්‍රිය වුණ බාහුබලි දිහා බලාගෙන පිටපත ලියපු බව පැහැදිළියි. ඉතින් පුලි චිත්‍රපටියේ චරිත කිසිම ගැඹුරක් තියෙන ඒවා නෙවෙයි. විජේ ලව්වා ඩයලොග් ටිකක් කී පමණින් ජැක්පොට් එකක් වගේ චිත්‍රපටිය සාර්ථක වේවියැයි පුලි අධ්‍යක්ෂවරයා කල්පනා කරන්න ඇති.
සිදුවීම් පවා ඒ වගෙයි. සමහර සිදුවීම්වල කිසිම තර්කානුකූල බවක් නැහැ.

රූපරාමු.

බාහුබලී චිත්‍රපටියේ ජනප්‍රියම රූපරාමුව තමයි සේනාපති කට්ටප්පා විසින් බාහුබලීට පසුපසින් කඩුවෙන් අනින දර්ශණය. ඒ දර්ශණය වෙනුවෙන් මොනතරම් මහන්සියක් වෙන්නට ඇතිද. පුලි චිත්‍රපටියෙන් මේ වගේ ආයෙ ආයෙමත් සිහිපත් වෙන දර්ශණ මුණගැහෙනවාද.

නිකන්ම කතාවක් කියනවා හැර සිනමාත්මකව කල්පනා කරන්නට පුලි අධ්‍යක්ෂවරයා උත්සාහ කරලා නැහැ. ඒ නිසා තමයි සිවගාමි පුංචි දරුවෙක්ව ජල පහරකින් තනි අතකින් ඔසවාගෙන ඉන්න රූපරාමුව වගේ අවස්ථා පුලි චිත්‍රපටිියේදී හමු වෙන්නේ නැත්තේ. සිනමාව කියන්නෙ රූපයෙන් කරන වැඩක්. කලාත්මක වුණත් ජනප්‍රිය වුණත් චිත්‍රපටියක් කරද්දී රූපරාමුව ගැන සියදහස් වරක් හිතන්න වෙනවා. චිම්බුදේවන් ඒවා කල්පනා කරපු බවක් පේන්නේ නැහැ.

ශිල්පීන්

ඇත්ත. පුලි චිත්‍රපටිය තමන්ගේ ප්‍රධාන රංගන ශිල්පියා ලෙස තමිල්නාඩුවෙන් හොයාගන්න පුළුවන් හොඳම පුද්ගලයාව හොයාගෙන තියෙනවා. ඔහු ඉන්න නිසා චිත්‍රපටිය අසාර්ථක වීම ගැන බයක් නැහැ. ඒත් ඔහු හැම චිත්‍රපටියේම කරන දේ මිස පුලි චිත්‍රපටියේදී කරන අලුත් දේ මොකක්ද? ලස්සනට ඩයලොග් ටික කරන එකත් නරක මිනිස්සු සෙට් එකකට ගහන එකත් හැර ඔහුට කරන්න ලැබුණෙ මොකක්ද.
අසමසම ශ්‍රීදේවීට ලැබුණු චරිතයත් හොඳ බව ඇත්ත. ඒත් හරහට තියෙන බිත්තිය දිගේ ඇවිදීමත්, මිස්ට ෆැන්ටාස්ටික් වගේ අත දිගුකිරීමත්, තව බය හිතෙන දේවල් ටිකක් කිරිමත් හැර ශ්‍රීදේවිගෙන් අරන් තියෙන ප්‍රයෝජනය මොකක්ද.

සුදීප් කන්නඩ සිනමාවෙන් බිහිවුණ හොඳ රංගන ශිල්පියෙක්. අපි කතාකරන බහුබලී චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන රාජ්මෞලිගේම ඊගා චිත්‍රපටිය එක්ක සුදීප්ව බොහෝ දෙනෙක්ට මතක ඇති. හැබැයි ඔරවාගෙන ඉඳීමත්, බය හිතෙන ආකාරයට ප්‍රභූගේ අත කපාදැමීමත් හැර සුදීප්ටත් කරන්නට දෙයක් ඉතිරි වී නෑ.

මේ චිත්‍රපටියේ චරිත තෝරාගැනීම් පසුපස තියෙන පදනම මොකක්ද? හංසිකාට ලැබුණු චරිතයට තියෙන පදනම මොකක්ද. මේ චරිත තෝරාගැනීම් සහ ඒවාට ශිල්පීන් තෝරාගැනීම ඉතාම කම්මැලි විදියටයි කරලා තියෙන්නේ. තෝරාගත් නළුනිළියන් නරක නැහැ. එහෙත් ඔවුන්ගෙන් අරගෙන තියෙන ප්‍රයෝජනය ප්‍රමාණවත් නැහැ.

බාහුබලී චිත්‍රපටිය තෝරාගත් නළුනිළියන් බලන්න. ඔවුන්ගේ චරිතවල ගැඹුර සහ ඒවායේ විශේෂත්වය බලන්න. කට්ටප්පා චරිතයට තෝරාගන්නේ සත්‍යරාජ්ව. ඒක සත්‍යරාජ්ගේ හොඳම චරිත අතරට එක්වෙනවා. ඔහුගේ රූපය පවා වෙනස්. බාහුබලී එක්ක ඉන්න හැම රංගන ශිල්පියෙක් / ශිල්පිනියක්ම පාහේ අපූරු කාර්යභාරයක් කරනවා.

රානා දැවැන්ත රංගන ශිල්පියෙක්. ඔහු මහා නමක් ගොඩනඟාගත්ත කෙනෙක් නෙවෙයි. ඒත් චිත්‍රපටියේ දුෂ්ඨයා විදියට ඔහුව අපූරුවට වර්ණවත් කරන්නට අධ්‍යක්ෂවරයා සමත්. හැබැයි රාණා තනියම දුෂ්ඨයා විදියට ඉඳීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි නසර්ව එකතු කරන්නේ.  නසර් පරිණත ශිල්පියෙක්. රානා දුෂ්ඨත්වයේ ශරීර ශක්තිය නියෝජනය කරද්දී නසර් ඒක රංගනයෙන් මතුකරනවා. කතාව බැලන්ස් වෙනවා.

තමන්නා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියෙක් නෙවෙයි. එහෙත් ඇය සුන්දරම කාන්තාවක්. ඇයට පැවරෙන වගකීමත් ඒක. කොල්ලෙක්ව දියඇල්ලක් තරණය කරවන්නට සමත්වුණ සුන්දරත්වය නියෝජනය කිරීමයි ඇගේ කාර්යභාරය. ඒත් දේවසේනා චරිතය ඊට වඩා ගැඹුරුයි. ඒකට සුන්දරත්වය පමණක් ප්‍රමාණවත් නැහැ.  ඒ නිසයි මහා සුන්දරත්වයක් නැතත් අනුෂ්කාව ඒ චරිතයට තෝරාගැනෙන්නේ.
සිවගාමී කියන චරිතය දිහා බලන්න. දැවැන්ත පෞරුෂයෙන් පිරුණු කාන්තාවක්. රම්‍ය ක්‍රිෂ්ණන්ව තොරාගත්ත පළියට ඒ චරිතය ගොඩනැඟෙන්නේ නැහැ. ඇය වෙනුවෙන් ලියන දෙබස්, රූපරාමු සියල්ලෙන්මයි චරිතය ගොඩනැඟෙන්නේ. 

පුලි පැත්තට ආයෙ හැරිලා මේ කතාව කිව්වොත් ශ්‍රී දේවි තෝරාගත්ත පළියට මාර චරිතයක් ගොඩනැඟෙන්නේ නැහැ. ශ්‍රීදේවිව හරියට පාවිච්චි කරන්න අධ්‍යක්ෂවරයාට පුළුවන් වෙන්න ඕනෙ. ඇත්තටම පුලි චිත්‍රපටියෙ බලන්න වටිනා දෙයකට තියෙන්නෙ ශ්‍රීදේවිගෙ ඇක්ටින් පමණයි. එහෙත් ඒකත් මිස්ට ෆැන්ටාස්ටික් වගේ අත දිගු කරන දර්ශණ, ඩ්‍රැකියුලා වගේ බිත්ති දිගේ ඇවිදින දර්ශණ වලින් අල කරලා. නූතන ප්‍රේක්ෂකයාට මේ වගේ අත් දික් කරන, බිත්තිවල ඇවිදින දර්ශණවලින් විනෝදයක් ලැබෙන්නෙ නෑ.

ඓතිහාසික චිත්‍රපටියක් කිරීම අදත් සිනමා ලෝකයෙ අසීරුම කටයුත්තක්. ඒ පරණ ඇඳුම් සහ සිග්නල් කුළුණු නැති දර්ශණතල හොයාගන්න අමාරු නිසා නෙවෙයි. ඓතිහාසික චිත්‍රපටියකදී අලුත්ම ලෝකයක් ප්‍රේක්ෂකයා ඉදිරියේ මවන්නට රූපරාමු සහ තිරරචනය හරහා අධ්‍යක්ෂවරයා සමත් වෙන්න ඕනෑ නිසා. ලංකාවෙත් මෑත කාලයෙ ඓතිහාසික චිත්‍රපටි ගොඩක් හැදුණා. ඒත් තමන්ගෙම ලෝකයක් මවන්න හැකිවුණේ අබා චිත්‍රපටියට විතරයි.

1 comment:

  1. Lucky Club | Live The Casino | Lucky Club
    Welcome to Lucky Club Live! Enjoy over 150 games and a guaranteed £10 sign up bonus, with offers for over 50 slots & luckyclub video poker titles.

    ReplyDelete