Friday, July 6, 2018

ආර්යාගේ හොඳම නවය

ආර්යාව අපි දකින්නේ හැකියාවෙන් පිරිපුන් නළුවෙක් විදියට. තරඟකාරී කොලිවුඩ් සිනමාව ඇතුලෙ ඔහුට ලැබෙන්න තිබුණු වටිනාකම කවදාවත් ලැබුණෙ නැහැ. ඇත්තටම ආර්යා කියන්නෙ දැන් පරම්පරාවෙ හොඳ කොලිවුඩ් නළුවො කිහිපදෙනාගෙන් කෙනෙක්. විසාල්, කාර්ති, ධනුෂ්, සේදුපති එක්ක කරට කර ආර්යාව තියන්න පුලුවන්. ඔහුව යොදවන ෆිල්ම් එකක් බයනැතිව බොක්ස් ඔෆිස් වාර්තාවලට ගෙනයන්නත් පුලුවන්.

ආර්යාට තියෙන්නේ අපූරු ඇස් දෙකක්. ආර්යාගේ විශේෂ සංකේතයක් තමයි ඒ ඇස් දෙක.





2003- 2004 දී විතර සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් චිත්‍රපටියක නළුවන් තෝරාගන්න ඔඩිෂන් එකකට ගිහින්. ජීවා කියන කැමරා අධ්‍යක්ෂ සහ චිත්‍රපටි අධ්‍යක්ෂවරයාගේ ප්‍රොජෙක්ට් එකකට තමයි ඔඩිෂන් එකකට ගිහින් තියෙන්නෙ. මේ කතාකරන්නෙ ආර්යා ගැන නෙවෙයි. Jamshad Cethirakath කියලා කොල්ලෙක් ගැන. ඔය නම නොගැලපෙන බව කියලා ඔය කොල්ලාට 'ආර්යා' කියන නම දෙන්නේ ජීවා. තමන්ගෙ ෆිල්ම් එකට මේ කොල්ලාව තෝරගන්නවා. හැබැයි එ් චිත්‍රපටිය කල් යනවා. ඒ චිත්‍රපටියෙ නම Ullam Ketkumae

ඔය අස්සෙ අර ආර්යා කියන අලුත් නමත් එක්ක මේ කොල්ලා යනවා විෂ්ණුවර්ධන් කියන අධ්‍යක්ෂවරයාව මුණගැහෙන්න. විෂ්ණුවර්ධන් මේ කොල්ලාව තමන්ගෙ චිත්‍රපටියට තෝරගන්නවා. චිත්‍රපටිය ජනප්‍රිය වෙනවා. චිත්‍රපටියෙ තියෙන Thee pidika කියන සිංදුවට නටන මේ කොල්ලා තවත් ජනප්‍රිය වෙනවා. ( එ් සිංදුව කොපි කරලා පස්සේ කාලයක ලංකාවෙ චිත්‍රපටියක හැඟුම්බරී කියලා සිංදුවක් හැදුණා. )




මේ ලැයිස්තුවට අපි ආර්යාගෙ චිත්‍රපටි නවයක් එකතුකළා. දහවැනි ස්ථානයේ තියන්න පුලුවන් චිත්‍රපටි දෙකක් තියෙනවා. බැංගලෝර් ඩේස් සහ බොස් එන්ගිරා බාස්කරන්. ඒ චිත්‍රපටි දෙකටත් අපේ ගෞරවය ලැබෙනවා. කොහොම වුණත් මේ අපේ ලැයිස්තුව. ඔබට වෙනස් අදහසක් තියෙනවානම් ඔබේ ලැයිස්තුව කමෙන්ට් සෙක්ෂන් එකට එකතුකරන්න.

09 
Vettai ( 2012 )



අවුරුදු තුනක් තිස්සෙ ප්‍රධාන චරිතයක් දෙමළ සිනමාවෙ ඉදිරිපත් නොකරපු මාධවන් නැවත ආවෙ මේ චිත්‍රපටියෙන්. ලිංගුස්වාමිගෙ වේට්ටයි. වැඩි පිරිසක් කතාබහ කළේ මාධවන්ගෙ නැවත පැමිණිම.

ආර්යාගෙ චිත්‍රපටි ගොඩක ආර්යා තනි හීරෝ විදියට නැතිව, තවත් අතිදක්ෂ නළුවෙක් සමඟ හීරෝ චරිතය බෙදාගෙන තියෙනවා. මේ ලැයිස්තුවේම එහෙම චරිත කිහිපයක් තියෙනවා. ඒ වැඩේදී තමන්ගෙ සහාය චරිතයත් එක්ක කරට කර ගැටෙන්නත් ආර්යාට හැකිවෙනවා. ඒක ඇතුලෙ තමන්ගෙ වැඩේ උපරිමයෙන් කරන්නත් ආර්යා සමත්.

හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක ඇක්ෂන් දර්ශන කිරීම පහසු දෙයක් නෙවෙයි. ඒකට තමන්ටම ආවේණික පෞරුෂයක් තියෙන්න ඕනෑ. මෑතකාලයෙ දෙමළ සිනමාවෙ හොඳම ඇක්ෂන් කාරයා තමයි ධනුෂ්. ( විජේ, සූර්යා, වික්‍රම් පරම්පරාව ගත්තෙ නැහැ. ) ධනුෂ්ගෙ ඒ පැත්ත බොහෝ දෙනෙක් කතාකරලා නැහැ. ධනුෂ් කලුපටිකාරයෙක් නිසා පුදුම වෙන්න ඕනෑත් නැහැ. ධනුෂ්ට පමණක් දෙවැනි වෙන ඇක්ෂන් නළුවො තුන්දෙනා තමයි විසාල්, ආර්යා, කාර්ති.

ඇක්ෂන් සීන් එකකදී සමහර දේවල් ඇත්ත ලෝකයේ නොවෙන දේවල් බව අපි දන්නවා. ඒකනෙ ගුරුත්වාකර්ශනේ අඩුයි කියන්නෙ. හැබැයි ඒ දර්ශනය ප්‍රේක්ෂකයාට විශ්වාස කරන්න පුලුවන් විදියට මාකට් කරන එක තමයි නළුවාගෙ වැඩේ. කන ගුටියත් ගහන ගුටියත් මාකට් කරන්න ඕනෑ. ඒ වැඩේදී මේ හතරදෙනා කරට කර. හැබැයි මේ හතරදෙනා ඒ වැඩේ කරන්නෙ එකිනෙකාට වෙනස් විදියට. අතපය නවන විදිය පවා වෙනස්. උදාහරණයක් විදියට ධනුෂ් බලවත් පහරක් එල්ල කරද්දී ගොඩක් වෙලාවට කකුලෙන් ගහනවා. පපුවට ගැහුවත් කකුලෙන් ගහන්නෙ. මොකද ධනුෂ්ගෙ අතේ ලොකු හයියක් තියෙන බව ප්‍රේක්ෂකයාට එ්ත්තු යන්නෙ නෑ.

ලිංගුස්වාමි, ආර්යා සහ ෆයිට් ඩිරෙක්ටර් එකතුවෙලා වේට්ටයි චිත්‍රපටියෙ ඇක්ෂන් දර්ශන සියුම් විදියට හදලා තියෙනවා.

08
Avan Ivan (2011)



බාලා කියන ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂවරයා එක්ක ආර්යා කරපු චරිත දෙකෙන් එකක්. ආර්යා සහ විසාල් කියන්නෙ සිනමාවට එන්නත් කලින් ඉඳන්ම එකට හිටපු හොඳම යාලුවො දෙන්නෙක්. අවන් ඉවන් කරපු බාලා කියන්නෙ සෑහෙන කලාත්මක සහ ඛේදනීය චිත්‍රපටි කරන කෙනෙක්. එ් වගේ කතාවකට නළුවන් හරිම වැදගත්. ස්ක්‍රිපට් එකේ ගැඹුර තේරුම් ගන්න ඕනෑ. ඒ චරිතය ගැඹුරෙන් කරන්න ඕනෑ.

ඇත්තටම බාලා මේ චිත්‍රපටියට මුලින් තෝරාගෙන තිබුණෙ සූර්යා සහ කාර්තා කියන සැබෑ ලෝකයෙ අයියවයි මල්ලිවයිලු. ඒ දෙන්නායින් පස්සෙ තමයි බාලා ආර්යාව එක චරිතයකට තෝරාගෙන තියෙන්නෙ. මල්ලිගෙ චරිතයට. ආර්යා බාලාගෙ කලින් චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය කළානෙ. ආර්යා තමයි කියලා තියෙන්නෙ විසාල් වැඩේට ගැලපෙන බව. මේ තරම් ගැඹුරු චරිතයක් කරන්න විසාල්ට පුලුවන් බව බාලා විශ්වාස කරලාත් නැහැ.

ආර්යා සහ විසාල් තමන්ගෙ උපරිම කැපකිරීම මේ චිත්‍රපටිය වෙනුවෙන් කළා. ඇත්තටම මේ චිත්‍රපටියෙ පිටපත බාලාගෙ අනෙක් පිටපත් තරම් අතිවිශිෂ්ඨ නැහැ. ඇත්තටම මේ චිත්‍රපටියෙ සාර්ථකත්වයට හේතුව ආර්යා සහ විසාල් කරපු කැපකිරීම.

07
Madrasapattinam (2010)


ආර්යා හාස්‍ය සමඟ මුසුවෙමින් සුද්දන්ගේ කාලයේ ( 1947 දී ) සිටි දෙමළ තරුණයෙකුගේ චරිතය අපූරුවට මේ චිත්‍රපටියෙන් ඉදිරිපත් කරනවා. ආදරයට භාෂාවක් නැහැ. ඉංග්‍රීසි නොදන්නා දෙමළ තරුණයෙක් සහ දෙමළ නොදන්නා ඉංග්‍රීසි තරුණියක් අතර අාදර කතාවක් තමයි චිත්‍රපටියෙ එන්නෙ. සුපුරුදු විදියට දුෂ්ඨයා ඉංග්‍රීසි හමුදා ලොක්කෙක්. ඒ මැද්දට ජාතික නිදහස් අරගලයත් එකතුවෙනවා. නිදහස් අරගලයත්, ආදර අරගලයත් හදවත් කලඹවනවා.

චිත්‍රපටිය කරද්දී අවුරුදු 22 කොල්ලෙක් වෙච්ච ජී.වී. ප්‍රකාශ් කුමාර්ගේ හඳ කලඹවන සංගීතයෙන් මෙය හැඩවුණා. පූක්කල් පූක්කුම් සිංදුව කාටත් අමතක නොවේවි. ඇමී ජැක්සන්ගෙ පළවැනි චිත්‍රපටිය වෙච්ච මේක බොක්ස් ඔෆිස්වල සති දහයක් පළමු තැන හිටියා.


06
Arrambam (2013)



ආරම්බම් අපූරු හාස්‍යමය චිත්‍රපටියක්. 'තල' අජිත් කුමාර් සමඟ ආර්යා මේ චිත්‍රපටියේ රඟපානවා. අජිත් චිත්‍රපටියක ඉන්නවානම් චිත්‍රපටිය බලන අපේ සම්පූර්ණ අවදානය එයාගෙ චරිතයට යොමුවිය යුතුයි. ඒත් අජිත්ට කරට කර ඉඳගෙන තමන්ගෙ ටැලන්ට් එක පෙන්වන්න මේ චිත්‍රපටියෙදී ආර්යා සමත් වෙනවා. තප්සී පන්නූ එක්ක කොමඩි රසයක් චිත්‍රපටියට එකතුකරන්නෙ ආර්යා.

කම්පියුටර් හැකර් කෙනෙකුගේ චරිතයක් කරන ආර්යා විශේෂ මේකප් සහ ඉෆෙක්ට් වලින් තමන්ගෙ පාසැල් කාලයෙ චරිතයකුත් ඉදිරිපත් කරනවා. තඩියෙකුගේ චරිතයක්. මේකත් හරි ලස්සනට කරන්න ආර්යා සමත්.

05
The Great Father (2017)



මලයාලම් චිත්‍රපටියක්. මෑතකදී ආපු මේ චිත්‍රපටියෙ ප්‍රධාන සහාය චරිතය තමයි ආර්යා කරන්නෙ. ප්‍රධාන චරිතය කරන්නෙ මලයාලම් මෙගාස්ටාර් මම්මුතී. මම්මුතී කියන්නෙ ඉන්දීය ඉතිහාසයේ නිල පිළිගැනීම් අනුව හොඳම නළුවො තුන්දෙනාගෙන් ( අමිතාබ්, කමල්, මම්මුතී ) කෙනෙක්. එහෙව් මම්මුතී එක්ක කැපී පෙනෙන චරිතයක් කරන එක කොච්චර චැලේන්ජ් එකක්ද? ආර්යා ඒ කැපී පෙනීම තිතටම කරනවා.

ආර්යා ගැන කතාකරද්දී ආර්යාට තියෙන හොඳම ටැලන්ට් එකක් තමයි කොමඩි ඉදිරිපත් කිරිමේ හැකියාව. ඇඟට පතට නොදැනී කොමඩි දර්ශණ ඩිලිවර් කරන්න ආර්යාට පුලුවන්. හැබැයි මේ චිත්‍රපටිය වගේ චිත්‍රපටි බොහොමයක ආර්යා පෙන්වනවා තමන් කොච්චර හොඳ ඇක්ෂන් නළුවෙක්ද කියන එක. මේ වෙද්දී ආර්යා තමන්ගෙ ශරීර හැඩයත් හොඳටම බිල්ඩ් අප් කරගෙන ඉන්නවා. ඒ පිටිපස්සෙ ලොකු කැපකිරීමක් තියෙන බවත් සැකයක් නැහැ.

ක්ෂණික තීරණ ගන්නා, හිතුමතේට වැඩකරන තරුණ පොලිස් නිලධාරියෙකුගෙ චරිතයක් තමයි ආර්යා කරන්නෙ. තමන්ගෙ දුවව අපචාරයට ලක්කරපු අපරාධකාරයාව හොයා යන තාත්තා කෙනෙකුගෙ චරිතයක් තමයි මම්මුති කරන්නෙ. තාත්තාට යන්නෙ අපරාධකාරයාව මරන්න. ආර්යා උත්සාහ කරන්නෙ තාත්තාට කලින් අපරාධකාරයාව අල්ලාගෙන නීතියට කොටු කරගන්න. 



මේ චිත්‍රපටිය බොහෝවිට අවතක්සේරුවට ලක්වුණ චිත්‍රපටියක්. අපූරු ඛේදජනක කතාවක් චිත්‍රපටියට ගෙනෙන්නේ විජේ සේදුපති සහ ආර්යා එකතුවෙන්. දෙදෙනාම එක්වීම අපූරු සිනමා මතකයක්. අත්දැකීමක්. මේ දෙදෙනා සමඟ පොලිස් නිලධාරියෙකුගේ චරිතයෙන් එක්වෙන ශ්‍යාම් කියන්නේත් හොඳ රංගන ශිල්පියෙක්. 

ආර්යාගේ චරිතය සංස්කෘතික වීරයෙකුගේ චරිතයක්. කැරළිකරුවෙකුගේ චරිතයක්. මරණ දඬුවමට නියම වුණ කැරළිකරුවෙක්. මේ චිත්‍රපටියේදී කතාකරන්නෙ මරණ දඬුවම ගැන. මරණ දඬුවම දියුණු සමාජයකට අවශ්‍යයද කියන එක ගැන. මරණ දඬුවමට නියම වුණ කැරලිකාරයෙක් (ආර්යා ), අලුගෝසුවෙක් ( සේදුපති), මරණ දඬුවම පිළිබඳ වගකීම දරණ බන්ධනාගාර නිලධාරියෙක් ( ශ්‍යාම් ) වටේ තමයි කතාව ගෙතෙන්නේ. මේ චිත්‍රපටිය ගැඹුරු තේමාවක් කතාකරන රසවත් චිත්‍රපටියක්. කෙනෙක් මැරෙන්න කලින් නැරඹිය යුතුම චිත්‍රපටි අතර තියෙනවා.

03
Arindhum Ariyamalum (2005)



විෂ්ණුවර්ධන් කියන්නෙ දෙමළ සිනමාවෙ මතක හිටින නිර්මාණ කිහිපයක් කරපු අධ්‍යක්ෂවරයෙක්. බිල්ලා, ආරම්බම් වගේ චිත්‍රපටි කළේ විෂ්ණුවර්ධන්. ඔහුගෙ මුල්ම කාලයේ චිත්‍රපටියක් මේක. ආර්යාගේ පළවැනි චිත්‍රපටිය. ඇත්තටම මේ චිත්‍රපටියෙ වීරයා ආර්යා නෙවෙයි. ප්‍රධාන සහාය චරිත දෙකෙන් එකක් තමයි ආර්යා කරන්නෙ. එහෙත් චිත්‍රපටියෙ සම්පූර්ණ අවධානය සහ ප්‍රේක්ෂක ආදරය තමන්ගෙ දෙසට හරවාගන්න පළවැනි චරිතයෙන්ම ආර්යා සමත් වෙනවා. විනයක් නොදත්, මැරයෙකුගේ කලබලකාර පුතෙකුගේ චරිතයයි ආර්යා කරන්නෙ. හදාවඩාගත්ත පුතෙකුගේ චරිතයක්.

ඒ චරිතය අනුව ආර්යා රස්තියාදුකාර හැසිරීමක් තියෙන කෙනෙක්. කුකුල් කේන්තිකාරයෙක්. ඒත් ඔහුගෙ ජීවිතයට එකපාරම 'ආදරණිය පවුල' කියන සංකල්පය ඇතුළුවෙනවා. පිය, පුත්‍ර, සහෝදර ප්‍රේමය එකතුවෙනවා. ඒ පවුලට යහපතක් කරන්න ඔහු උත්සාහ කරනවා. ඒත් ඔහු කරන දේවල් වැරදියටමයි වෙන්නේ. මිනීමරු මැරයෙක් විදියට ඉන්ට්‍රො එකේදී අපි මේ චරිතය අඳුනගන්නෙ. චිත්‍රපටිය අවසාන වෙද්දී අපේ අනුකම්පාව, ආදරය චරිතය දිනාගන්නවා. ඒ වැඩේ ආර්යා තිතට කරනවා. තමන්ගෙ සිනමා අනාගතය දීප්තිමත් බව පෙන්වනවා. වීරයාගේ චරිතයවත් නැතිව ආර්යා වීරයෙක් වෙනවා.

02
Raja Rani (2013)





මේ චිත්‍රපටිය අතිසාර්ථක වෙන්න පළවැනිම හේතුව වු‍ණේ මේ චිත්‍රපටිය තරුණ තරුණියන්ගෙ ජීවිතවලට කරපු බලපෑම. නස්රියා නසීම් එක්ක පුංචි දර්ශණ තල කිහිපයක් ඇතුලෙ ආර්යා ගොඩනඟන ආදර රූපරාමු පෙළ කිසිදාක අමතක නොවේවි. ආදරයක් හමුවීම වගේම ආදරය අහිමිවීමේ වේදනාව අපූරුවට සිහිවේවි. ආදරය අහිමිවීම තරුණ ජීවිතයක් කණපිට පෙරළන අන්දම අපූරුවට මේ චිත්‍රපටියෙ නින්නාද වෙනවා.

පස්සේ කාලයක තෙරි හරහා මෙර්සල් චිත්‍රපටියත් කරපු ඇට්ලී නම් තරුණ අධ්‍යක්ෂවරයාගෙ හොඳම චිත්‍රපටිය රාජා රාණි බව තවමත් බොහෝ දෙනා කියනවා. මේ චිත්‍රපටියෙදි ආර්යාගෙ නර්තන හැකියාවත් අපට මුණගැහෙනවා. ආර්යාගෙ මුහුණ හැඟීම් ප්‍රකාශ වෙන, නොවෙන සීමාවෙ රැඳෙනවා. ආදර පරාජයක මහා වේදනාවක් හිතේ දරාගෙන, අමාරුවෙන් ජීවිතය ගෙනයන තරුණයෙක්ගෙ චරිතයක් මුල් කොටසෙදී රඟපානවා. අතීත කතාව කියද්දී නැවතත් තරුණයෙකුගෙ චරිතයක් රඟපානවා.

අද වුණත් අපට කිසිම කහටක් නැතිව කියන්න පුලුවන්. නස්රියාව ලස්සනටම කැමරාවට අහුවුණ චිත්‍රපටිය තමයි රාජා රාණි. නස්රියාගෙ හුරතල් ගති සියල්ල එතැන අහුවෙනවා. ඒක මැද්දෙ ඒකට වහවැටෙන තරුණයෙකුගෙ චරිතය ආර්යා කොච්චර ලස්සනට කරනවාද? 

රාජා රාණි චිත්‍රපටියෙන් අපි ලබපු රහ තවමත් දිවඟ රැඳී තියෙනවා. ආයෙ ආයෙමත් ඒ සුන්දර ආදර රූපරාමු බලන්න අපේ හිත් ඉල්ලනවා. 


01
Naan Kadavul (2009)

මේ වගේ චිත්‍රපටි අපට දෙකක් හෝ තුනක් බලන්න බැහැ. සමහර චිත්‍රපටි ගත්තාම, ඒ ජාතියෙන් තියෙන්නෙ ලෝකෙටම එකයි. නාන් කඩවුල් ඒ වගෙ චිත්‍රපටියක්. අංක එක වෙන්නේ රාජා රාණිද? නාන් කඩවුල්ද? කියන ප්‍රශ්ණය එක්ක අපි සෑහෙන වාද විවාද කළා. අන්තිමේදී චිත්‍රපටි දෙකම බැලුවා. බලලා තීරණය කළා මේක තමයි අංක එක කියලා.

අපි කලින් කතාකළා. ආර්යා අපූරුවට කොමඩි ඩිලිවර් කරනවා. නියමෙට ඇක්ෂන් කරනවා. ඒත් මේ චරිතය. මුහුණෙ කිසිම හැඟීමක් දැනීමක් නැති, ගංජා උරන, රැවුල වවාගත් අමුතු මිනිහෙක්. තමන් දෙවියෙක්යැයි සිතන කෙනෙක්.

මේ හැඩය තියෙන, මේ තරම් හද පාරවන චිත්‍රපටි හැදෙන්නේ ඉතාම කලාතුරකින්. ඛේදවාචකයකට යා හැකි උපරිමය කෙතරම්ද? ඒ උපරිමයටත් එහාට නාන් කඩවුල් චිත්‍රපටිය යනවා. ඒකෙදී ආර්යා තමන්ගෙ රංගන ජීවිතයෙ උපරිමයට යනවා. කාටවත් අත්හරින්න බැරි චරිතයක් ආර්යා කරනවා.



No comments:

Post a Comment