Friday, September 29, 2017

Oru Kidayin Karunai Manu

2017 වසරේ ආ සුවිශේෂ දෙමළ චිත්‍රපට අතරින් එකක්. සුරේෂ් සංගයියා නම් අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා නිර්මාණයයි මේ.



රාම්මූර්ති සහ සීතා ගමක සිටින අලුත විවාහපත්වූ යුවලක්. කලක් තිස්සේ අවශ්‍යව තිබූ ආගමික චාරිත්‍රයක් ඉටු කිරීමට, එනම් එක්තරා කෝවිලකට එළුවෙක් බිලි දී පූජාවක් පැවැත්වීමට ඥාතීන් ඇතුළු ගමේ සියලුදෙනා ලොරියක නැගී පිටත්ව යන්නේ එළුවෙකුත් රැගෙනයි. ඒ යන අතරතුරදී කෙළිලොල් අලුත් විවාහක යුවලක් වන සීතා හා රාම්මූර්තිගේ අහිංසක දඟකාරකමක් කෙළවර වෙන්නේ වන්දනා ගමනද අතරමග නතර කර, ඔවුන් දෙදෙනාගේ අනාගතයද අඳුරේ හෙලමින්, ඥාතීන් ඇතුළු සියලුම ගම්වාසීන් අපහසුතාවයට ලක්කරමින්. මේ අකරතැබ්බයෙන් ගොඩ ඒමට ඔවුන් දරන උත්සාහය ඔස්සේ චිත්‍රපටය ඉදිරියට ගලායනවා. 


බැලූ බැල්මට 'දෙලොවක් අතර' සිංහල චිත්‍රපටයට සමාන කථා තේමාවක් අන්තර්ගතවී තිබුණත් මෙහි ඇත්තේ එමෙන් තනි පුද්ගලයෙකුගේ හුදෙකලා මානසික ගැටුමක් නොව සාමාජීය වශයෙන් සමූහයක් මුහුණ දෙන ගැටුමක්. මෙහිදී සංකේතයක් ලෙස යොදාගෙන ඇති එළුවා, කිසිදු පාර්ශවයකට බර නොවී මධ්‍යස්ථව ගැටුම දෙස බලන්නට සිනමාකරු උපයෝගී කර ගන්නවා.

ප්‍රකට දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ මනිකන්ඩන්ගේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සුරේෂ් සංගයියා තම පළමු චිත්‍රපටයෙන්ම දෙමළ සිනමාව තුල සුවිශේෂ ලකුණක් සටහන් කරන්නට සමත්ව සිටිනවා. ඔහු විසින්ම ලියන ලද ප්‍රබල නාට්‍යමය අවස්ථා සහිත තිර රචනය චිත්‍රපටයේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී තියෙනවා. මෙහි එන දෙබස්ද චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන අත්දැකීම ප්‍රබල කරවන්නට හේතුවී තියෙනවා. හාස්‍යය, උපහාසය, ප්‍රචණ්ඩත්වය වැනි ඉන්දීය mainstream සිනමාවේ සුපුරුදු අංග ලක්ෂණ අලුත්ම රසයක් මතුවන පරිදි මුසුකර තිබීම සිනමාකරුවාගේ දක්ෂතාව පෙන්නුම් කරන්නක්.

විදාර්ත් යනු දෙමළ සිනමාවේ All Round නළුවන්ගෙන් කෙනෙකු බව මේ චිත්‍රපටයෙන් තව දුරටත් ඔප්පු කර පෙන්වන අතර ප්‍රධාන නිළිය වන රවීනා රවිගේ රංගනයද ඉහලයි. මෙහි අප්‍රධාන චරිත රඟපාන නළු නිළියන්ද විශිෂ්ට ලෙස තම වගකීම ඉටුකරන අතර ඔවුන් සියලුදෙනා චිත්‍රපටයේ සාර්ථකත්වයට උරදී සිටිනවා. රඝුරාම් නමැති මෙහි සංගීත අධ්‍යක්ෂවරයාගේ සංගීතයද බෙහෙවින් ප්‍රබල වුණත් මෙහි සංගීතයේ ප්‍රබලත්වය කැපී පෙනෙන්නේ චිත්‍රපටයේ මුල් කොටසේදී විතරයි. අපි අසා දැක පුරුදු සරල කථා තේමාවකින් අලුත්ම සිනමා අත්දැකීමක් ලබාදෙන Oru Kidayin Karunai Manu ඇත්ත වශයෙන්ම නැරඹීමට වටින චිත්‍රපටයක්.


 (වොජිත් කරුණානායක විසින් භාරත සිනමා රසික සංසදය ෆේස්බුක් කණ්ඩායම වෙත ලියූ සටහනක්. )

No comments:

Post a Comment